(ග්‍රස්තිකයන්ගේ ආත්මීය උපායයන්)
i. රෝග විනිශ්චය කිරීම සදහා යතුරක් අවශ්‍ය විය. ඔවුන් ඒ සදහා ‘නිර්දෝෂීභාවය‘ නම් වූ යතුර භාවිත කළේ ය. ප්‍රශ්නය විග්‍රහ කිරීමට සහ අර්ථකතනය කිරිමට එය මහත් පිටිවහලකි. සැමියාගේ විශ්වාසවන්තභාවය බිරිදගේ පෞරුෂය යැයි කියන්නා සේ මාක්ස්වාදය ද පවුල්ගත කුමන්ත්‍රණයක් විය. ඇත්තෙන් ම නිර්දෝෂීභාවය ගමන් කළ හැකි මාර්ගයක් බවට මාක්ස්වාදය භාවිත කළ හැකි විය. එනිසා ඔවුන් සෑම සත්‍යයක් ම මාක්ස්වාදයට අනුකූල ලෙස ඉදිරිපත් කිරීමට මහත් වෙහෙසක් ගනිමින් සිටියහ. සත්‍යය සදහා විශ්වාසවන්තභාවයක්.... කිසියම් අනුභූතික කොමියුනිෂ්ට් අවසානයක් ගැන කතාවක් තමන්ගේ ප්‍රකාශිත භාෂාව තුළ සගවා තැබීමට ඔවුහු කටයුතු කළහ.

ii. ‘ඔබ විශ්වාස කළ යුත්තේ ඔබේ ඇස් ද? මාගේ වචන ද?‘ ඇය ඔහුගෙන් ඇසු වේ ය. ‘මතක තබාගන්න දැන් ඔබේ ඇස් අන්ධයි. ඔබට විශ්වාස කරන්නට ඇත්තේ මගේ වචන පමණයි.‘ ඇය නැවත කීවා ය. එවැනි තත්වයක් තුළ පවුලක් වශයෙන් ඔවුන්ට අර්බුධකාරී ධනවාදය සමග පැවැත්මට මෙම විඥානවාදී සත්‍යය අවශ්‍ය විය. එක පැත්තකින් ආණ්ඩු විරෝධයත්, සත්‍යය කතා කිරීමත්, විරෝධතාව ප්‍රකාශ කිරීමෙන් ව්‍යුහය වෙනස් කිරීම පිළිබද සාකච්ඡාවත් අවශ්‍ය විය. සැමියා ලවා විරෝධතාව ගොනු කරන අතර බිරිද විඥානවාදී සංවෘත්තය ගේ තුළ ආරක්ෂා කළා ය. ඇය උදේ සවස පන්සිල් ගත්තා ය. බුදුන් වැන්දා ය. දාන මාන දුන්නා ය. ඇය උපරිමයෙන් පැරණි සංස්කෘතික ලක්ෂණ රකින ඉහළ මධ්‍යම පන්තියට අවශ්‍ය ගුණාංග ප්‍රගුණ කරන ස්ත්‍රියක් බවට වේශාන්තරණය වෙමින් සිටින අතර ආගමික නිර්දෝෂීබවක් ආරක්ෂා කළා ය. දෙවනුව සැමියා උපායයක් ලෙස පවතින වෙළෙදපොළ තර්කනය දෙසට විසිකරමින් ඉන් ගලා එන ධනය තමන්ගේ ඔඩොක්කුවට දමා ගැනීමට ඇය අමතක නොකළා ය. එසේ එන ධනයෙන් ටිකක් විඥානවාදය නඩත්තු කිරීමට, බලවත් කිරීමට දායකත්වය සපයමින් මේ දයලෙක්තිකය ආරක්ෂාකිරීමට ඇය සමත් විය.

iii. බැලූ බැල්මට ඇය අහිංසක බවකි. ඇය ඇගේ ඇස් අනුන්ට පෙනීම ගැන එතරම් කැමැත්තක් නැත. එනිසා කලු උපැස් යුවළක් නිතර පැළැන්දා ය. ‘ඔවුන් මා දකින්නේ කෙසේ දැයි මම නොදනිමි. නමුත් මම ගෞරවනීය ලෙස ජීවත්වෙමි‘ ඇය කීවා ය. ඇගේ පවුල පුංචි ආණ්ඩුවක් බදු ය. එහි ව්‍යවස්ථාවත්, අධිකරණයත්, අගමැතිවරියත් ඔහු විය. ජනාධිපතිවරයා නාමික ය. මේ නිර්මල සංකේතාත්මක අධිකාරිය ඉදිරියෙන් ප්‍රේමය නම් පුවරුවක් තබා තිබුණි. නිවස තුළට පිරිමියා ඇදගැනීමට සමත්වන ඇගේ යතුර ඔහුගේ ආශාවයි. එක් අවස්ථාවකින් පසු ස්වාමියා මේ යතුර හෙවත් නාස්ලණුව කඩාගෙන යන්නට වළිකමින් සිටින විට ඇය පවුල නම වූ රාජ්‍ය බලවත් බව ඔහුට කීවා ය. යම් හෙයකින් එහි ද්වාරයෙන් පැන පළා ගියහොත් ඔහු ආගාධයකට වැටෙන බව ඇය කීවා ය. ‘කරන සෙල්ලමක් කරන්න ඕනෙ මේ රාජ්‍යය තුළයි‘ ඇය අණ කළා ය. දැන් ඔහුට ඉන් පිටවිය නොහැකි ය. එකල් හි ඔහු එහි කවුලුවලින් එබී, පිටත සමාජයට විරිත්තන්නට පටන් ගත්තේ ය. සමහර විට ඇය පන්සල් ගිය දවසක එම කවුළුවකින් එලියට පැන බලු පැටවකු මෙන් ඔහු පිටත පවුල් රාජ්‍යයන් තුළ ඇවිද්දේ ය. ‘බලන්න මම නිදහස්කාමී මිනිසෙක්. හරියට වල්බල්ලෙක් වගේ..‘ ඔහු උදම් ඇනුවේ ය. නමුත් ඇය ගේ විඥානවාදී කැදවීම ලැබෙන වෙලාවට, හරියටම ඇගේ සීනුව වැදෙන වෙලාවට ඔහු කාටත් හොරෙන් ගෘහයට පළා ගියේ ය. බිරිදගේ අවසරය ඇතිව එළියට යාමට ඇති එක ම මාර්ගය දඩාවතේ යාමෙන් කිසියම් මුදලක් ඉපැයිය හැකි බව ඇයට ඒත්තු ගැන්වීම ය. තමන්ගේ නිදහස පතා මිනිස් නිදහස ජීවිතවල සිරවී සිටින සිරකාරයන්ට අලෙවි කළ හැකි බව ඔහු අදුනා ගත්තේ ය. ‘කවුළුවෙන් පැන එ්මට අවසර ලැබෙන්නේ නැවත මුදලක් පවුල තුළට රැගෙන යා හැකි විට ය.‘ පවුල තුළ අවසාන සත්‍යය ඔහුට හමුවුණේ ඒ අනුව ය.

iv. දෙවැනි ලෝක යුද්ධය පිළිබද ‘ඈන් ප්‍රෑන්ක්ගේ දිනපොත යනු යුදෙව්වන්ගේ අහිංසක බවයි. ජර්මානුවන්ගේ බිහිසුණු බව ප්‍රකාශ කරන ලියවිල්ල ඒ සතු ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ව ලෝකය සතුරා බවට පැසිස්ට්වාදය පවත්වා ගත්තේ ය. මේ පැසිස්ට් අදහස සැබෑ ඒකාධිකාරී බලයක් ලෙස ගෙන එය කරා පිවිසෙන මාර්ගයක් ලෙස මාක්ස්වාදය නම් කළේ ය. ‘පැසිස්ට්වාදීන් පැමිණෙන්නේ පරමාදර්ශී සත්‍යයක් ප්‍රකාශ කරමිනි. එම ප්‍රකාශිත සත්‍යය අයත් වන්නේ මාක්ස්වාදයට ය‘ ධනවාදීහු කීහ. නමුත් මේ ප්‍රජාතන්ත්‍රවාදයට පැසිස්ට් විරෝධය සමග දිග ගමනක් යා නොහැකි ය. ඊට හේතුව සූරාකෑමේ උපායක් ලෙස පැසිස්ට් පාලනය ප්‍රජාතන්තවාදය තුළ ද අන්තර්ගත බැවිනි. ඊට නව උපායයක් ලෙස වඩා නිරවුල් නිදහසක් වෙනුවෙන් මාක්ස්වාදය යොදාගත හැකි ක්‍රමයක් කල්පනා කළ විට ‘මිනිසුන්ට සටන් කරන්නට රාජ්‍යය තුළ අවකාශයක්... අවශය බව රාජ්‍යය විසින් ම කීය. ඒ අනුව මූලික මිනිස් අයිතිවාසිකම් කරළියට ගෙන ආවේ ය. විරෝධතාව සදහා ඉඩක් රාජ්‍යය සංකල්පය තුළ අන්තර්ගත කළේ ය. ප්‍රතිවිරෝධය සදහා ධනවාදී මාවතක් ස්ථාපිත කිරීම තුළින්, ධනේශ්වර අර්බුද පාලනය කළ හැකි ය. එහි අභිලාෂය එය විය. දැන් රාජ්‍යය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ට පවා මාක්ස්වාදී කවයක සාමාජිකයකු විය හැකි ය. ඊට හේතුව නම් මාක්ස්වාදය රාජ්‍යය ආරක්ෂාකරන පළිහක් ලෙස පවතින බැවිනි. දැන් අපි නාස්තිකවාදය දෙසට හැරෙමු. රාජ්‍යය අර්බුධයට යන වෙලාවට සියල්ල පොළොවේ ගැසීමට නාස්තිකවාදය උපායයකි. එයට යම් විටක මාක්ස්වාදය සමග එකට සිටීමට ද හැකි ය. එනම් නැවත රාජ්‍යය සදහා වන පළිහක් ලෙස යොදාගත හැකි ය. සියලු දෘෂ්ටිවාද ලෝක මූල්‍ය සමායතනයේ උපදෙස් පිට භාවිතයට ගැනීමට සෑම රාජ්‍යයකට ම සිදු වූයේ ඒ අනුව ය. ඊට පහසු උදාහරණය වන්නේ විරෝධතාව සදහා ඉඩක් ද බැටන්පොලු, කදුලුගෑස් සහ රබර් උණ්ඩ ද එකම උපායයක් වශයෙන් ගැනීමයි. ඇත්තට ම මේ ලිබරල්වාදීන් මේ ධනේශ්වර හිංසන ක්‍රම ගැන නිහඩව සිටීම කොතරම් කෛරාටික ද නරුම ද යන්න මින් වැටහේ.

v. ‘දෙවියන් දාදු කැටය සෙල්ලම් නොකරයි. නමුත් එහි පෙරළෙන පැත්ත හෙවත් වාසනාව තීරණය කරන්නේ දෙවියන් ය.‘ අයින්ස්ටයින් පවා මේ සත්‍යය විශ්වාස කළේ ය. ‘වාසනාව‘ එය කෙබන්දක් වනු ඇත් ද? එසේ නම් එහි ද්වන්ධය ‘අවාසනාවයි‘. මේ විශ්වාසය පැමිණියේ වසර සියදහස් ගණනක සිට ය. එය තවත් සියදහස් ගණනක් ඉදිරියට ගමන් කරනු ඇත. ධනවාදය අවසන් වනතුරු හෝ ලෝකය විනාශ වන තුරු ‘අවාසනාව‘ බලවත් සංකල්පයකි. ඉවසිලිවන්ත මධ්‍යම පන්තිය සුරක්ෂිත කරන රක්තහීන ලිබරල්වාදයක් ඉදිරියෙන් තැබූ විට හෙවත් ධනාවාදයේ කටුකන බල්ලන් රැළක් නඩත්තු කරන විට රාජ්‍යයට තම ස්වකීය පැවැත්ම තවත් වසර කිහිපයක් නිරවුල් ව ගමන් කරවිය හැකි ය. සූරාකෑමට ලක්වන්නගේ ප්‍රශ්නය ඔවුන්ගේ ම ගැටලුවක් ලෙස ඌනනය කළ හැකි ය. ‘ඔබට දෙවියන් විශ්වාස කිරීම හෝ නොකර සිටීම කළ හැකි ය‘ නමුත් වාසනාව සහ අවාසනාව යනුවෙන් දෙකක් තිබේ.‘ යනුවෙන් සංකල්පය නැගී ආ විට ‘මම එය විශ්වාස නොකරමි. නමුත් යමක් ක්‍රියාත්මක වේ‘ යනුවෙන් නීල් බෝර් ද කීවේ ය. විද්‍යාත්මක සත්‍ය තුළට පවා විඥානවාදය ගමන් කරන සැටි ඉන් අපට හසු වේ. නාස්තිකවාදය තුළ පවා විඥානවාදයක් ඇති බව තහවුරු කර ගැනීමට එය පිටිවහලකි. "ඔබ කෙලින්ම විශ්වාස කරනවාද, ඔබ වක්‍රව විශ්වාස කරනවාද? ඔබගේ විශ්වාසයන් එහි නිරපේක්ෂතාවය තුළ පීඩාවට පත්වනවාද? ඔබේ විශ්වාසය ගැන සිතන්න. බුදුන් විශ්වාස නොකරන්න. නමුත් කිස්තුන් විශ්වාස කරන්න. මොකක් හරි විශ්වාස නොකර නොසිටින්න. ඔබට විඥානවාදය බැරිනම් මාක්ස් විශ්වාස කරන්න.‘ මේ තරමට විඥානවාදය ශක්තිමත් කරන ලද්දේ ලිබරල්වාදය තුළ ය. එය වාදයක් නොව අවකාශයකි. ඕනෑම තත්ත්වයකට පැවතිය හැකි අවකාශයකි. එය කොමියුනිෂ්ට් ක්‍රමය සමග අදහස් ලෙස සමපාත වන දෘෂ්ටිවාදයකි. නමුත් එහි එක වෙනසක් තිබේ. කොමියුනයක් තුළ සූරාකෑම පැවතිය නොහැකි ය. නමුත් ලිබරල් අවකාශයක් තුළ සූරාකෑම සුරක්ෂිත ය.

  • සමරකෝන් පතිරාජ