පුෂ්පා රම්ලානි

  මා දෙවන වර නේපාලයට සේවය සඳහා  ගිය අවස්ථාවේ මගේ සේවා ස්ථානය වුණේ නේපාලයේ බස්නාහිර පළාතේ චිත්වාන් කියන  ප්රදේශයයි. සිදුහත් කුමරු උත්පත්තිය ලැබූ ලුම්බිණිය අයිති වෙන්නෙත් මේ සේවා  බල ප්රදේශයටම තමයි. චිත්වාන් ප්රදේශය නමේ සඳහන් වන ආකාරයටම විචිත්ර චිත්ර  වනයක් ලෙස හැඳින්වූවාට කමක් නැහැ.  ඒ ප්රදේශය චිත්වාන් ජාතික වනෝද්යානය  නිසාම වඩාත් ප්රසිද්ධයි. නේපාලයේ තිබෙන දිස්ත්රික්ක 77න් එකක් වන චිත්වාන්  හි අගනුවර භාරත්පූර් නමින් හැඳින් වෙනවා.
වෙනත් එක්සත් ජාතීන්ගේ මිෂන්  වලට වඩා මෙහි තිබුණු අපූර්වත්වය තමයි,නැගෙනහිර ටිමෝරය හෝ කොසෝවෝ රාජ්ය  තරම් අනතුරු සහිත හෝ අවදානම් කලාපයක් නොවීම.

                          මම, මගේ භාෂා පරිවර්තිකාව වන නේපාල් ජාතික අම්බිකා සහ රියැදුරු මහතා වන  රාම් ගෝපාල් මහතා සමග  නවාතැන් හෙව්වා. ඇය නේපාල ජාතික යුවතියක් වුවත් ඇගේ  නිවස තිබුණේ බොහෝම ඈත ගම්මානයක. තැන් කිහිපයක් බලන්න ගිහින් අපි දෙන්නටම  හිතට අල්ලන නවාතැනක් හමුවුණා. අපට ලැබුණෙ කලින් ඉන්දියන් හමුදාවෙ මේජර්  වරයෙකුව හිඳ විශ්රාම ගිය හමුදා නිලධාරියෙකුගෙ ගෙදර. හැබැයි ඔහු අංශ භාග  රෝගයෙන් ඔත්පළව එක තැන් වෙලයි හිටියෙ. ඔහුගේ බිරිඳ තමා ඔහුට බෙහෙත් සපයමින්  කෑම බීම දෙමින් සත්කාර කළේ. ඔහුට දරුවන් නොසිටිය නිසා ඥාති පුත්රයෙක්  දරුකමට හදාගෙන තිබුණත් ඒ පුතත් රැකියාවක් සඳහා ඩුබායි රාජ්ය යට සංක්රමණය  වෙලා. එම ඥාති පුත්රයාගේ බිරිඳ තමයි වයසක දෙමහල්ලන්ගේ දුක සැප බලාගෙන නම් ඒ  ගෙදර හිටියේ. ඇය තමයි ගෙදර පිරිසිදු කරන්නෙත්, උයන පිහන කටයුතු කරන්නෙත්. ඒ  වගෙම කඩපිළට යන්නෙත්. හැබැයි ඇයට ගෙදර ගෘහ මූලික නැන්දනිය නම් සැලකුවේ  මෙහෙකාරියක විදිහට. සුගිතා වන ඇය හැඳ පැළඳ සිටියේද මෙහෙකාරියක ලෙසටයි.
               අපි නැවතුණු තුන් වැනි මහලත් ඇය ලවාම පිරිසිදු කරගන්නට  සිතුවේ එහි පිරිසිදු කරන්නට තරම් කුණු රොඩු නැති නිසාත්, එයින් ඇයට කිසියම්   ආදායමක් ලබා දිය හැකි නිසාත් ඒ වගෙම සුගිතාට බර වැඩ වලින් මිදී මදක්  විවේකය ලැබිය හැකි නිසාත්ය. අප එහි ගොස් සති තුනකට පමණ ගත වූ පසු සුගිතා  පෙනෙන තෙක් මානයක හිටියේ නැහැ. මම ඒ බව අම්බිකා්ගෙන් ඇසූ විට ඇය කීවේත් ඇය  කොහේ හෝ යන්නට ඇත කියලා. ඒ සතිඅන්තයේ මම පාන්දරින්ම අවදිවෙලා සඳලුතලයට ගියේ  කලින්දා අව්වට දැමූ තුවා ආපසු ගන්නට නොහැකි වූ නිසා. එවිට මා දුටුවා  අඳුරේම පසුපස වත්තේ  තිබුණ හරක් මඩුව ළඟ එළියක් එහා මෙහා වැනෙන ආකාරයකුත්  කිසියම් කෙනෙකුගේ අපැහැදිලි සෙවනැල්ලක්. මට හිතුණෙම හොරෙක් වෙන්නැති කියලා.  
මම ඉක්මණටම කාමරේට ඇවිත් ඇඳේ කොට්ටය යට තබා තිබුණු විදුලි පන්දම  අරගෙන ගිහින් සෙවනැල්ල තිබුණු තැනට එල්ල කළා. හොරෙක් නම් නෙවෙයි. ඒ සුගිතා.  ඇය තිගැස්සී බියපත්ව පහත් වුණා.  මා අතින් ඉබේටම විදුලි පහන නිවුණා. ඒ  වුණත් යාන්තමට කලුවර දියවී ගෙන යන නිසා මම දැක්කා සුගිත එතැන තිබුණු හරක්  මඩුවට රිංගනවා. සුගිතා මොකටද හරක් මඩුවට රිංගන්නෙ. කිරි දොවින්නද? හරක්  බඳින්නේ ඒ මඩුවට එළියෙන් කියලා මම හොඳාකාරවම දකිනවා. සුගිතා මේ දවස් ටිකේ  නොදුටුව එකයි, අපි ඉන්න තෙවැනි මහල පිරිසිදු කරන්නට නොපැමිණි එකයි, සුගිතා  අඳුරේම ගව මඩුවක් වැනි පැල් කොටේ සැඟවුණු එකයි මේ සේරම මා තුළ අන්තෝ ජටා  බහි ජටා ව්යාකූලතාවක් ඇති කළා.
අම්බිකා අවදිවුණාම මම ඇගෙන් මේ ගැන  විමසුවා. ඇය මේ ගැන කිසිවක්ම හාරා නොඅවුස්සන ලෙස කියා සිටියේ ගෙදර අයගෙනුත්  මේ ගැන නොවිමසන ලෙසට මට කියා සිටිමින්. මගේ කුතුහලය වැඩි වුණා. මේ දවස්  ටිකේ ගෙදර උයන පිහන හා අනෙකුත් ගෙදර වැඩ කරන්න වැඩිහිටි ගැහැණු කෙනෙක්  පැමිණ සිටියා. ඔවුන් කීවේ සුගිතා අසනීපය සුවපත්ව එන තුරු වෙනත් නෑදෑ  කාන්තාවක් ගෙන්වා ගත් බවක්. සුගිතා ගෙදර නැති හේතුවට එකකට එකක් වෙනස්  පිළිතුරු එක එක අයගෙන් ලැබෙද්දී මගේ කුතුහලය පුපුරා ගියා. අම්බිකාගෙන්  පිළිතුරක් ලබා ගැනීම ගලකින් පට්ටයක් ගන්නවා වගේ. මම හිතුවේ මෙය අහන්න ඕනි  හොඳම කෙන මගේ රියැදුරු මහතා වන රාම් ගෝපාල් මහතායි. අම්බිකාට නොඇසෙන්නට මා  ඔහුට දුර කතන ඇමතුමක් ගත්තා. සුගිතාගේ අතුරුදහන් වීමත්, මා අළුයම දුටු ඈ  බඳු සෙවනැල්ලත් යනාදී වශයෙන් සියලු තොරතුරු රාම්ට කියා සිටියා. ඔහු මුලින්ම  කළේ හඬ නගා සිනා සීම.
"ඇයි හිනාවෙන්නේ රාම්?"
"මේ අපේ රටේ තියෙන මෝඩ චාරිත්රයක්"
" චාරිත්රයක් නම් අම්බිකා මට මොකුත් නොකීවේ ඇයි?"
" අපේ ගෑණු උදවිය ඕවා කතා කරන්න බයයි,ලැජ්ජයි"
" මට මොකවත් හිතා ගන්න බෑ, රාම්"
"පුෂ්පා ජී, මේ වැඩිවිය පැමිණුනු ගෑනු ළමයි මාසෙකට සැරයක් අසනීප වෙනවනෙ?  ඉතින් ඒ දවස් හතර පහට ඔවුන් මහා කිල්ලක්, කිලුටක් කියලා තමයි සලකන්නේ. ඒ  මාස් ශුද්ධිය නතරවෙලා නාන කල්ම ඔවුන්ම ගේ ඇතුළට ගන්නේ නැහැ. ගෙදර පිටිපස්සේ   ඈති වත්තේ පුංචි මඩුවක් හදල තියෙනවා. ඒකට කියන්නේ 'චෞපදී" කියලා. ඔය  අසනීපය ඉවර වෙනකල්ම ඇයට ඔය චෞපදී මඩුවෙන් එළියට එන්න තහනම්. සමහර අයට කෑම  බීම ගිහින් දෙනවා. සමහරු රෑට මොනවහරි කලුවරෙම උයාගෙන කනවා. ඒ කිළුටු  පිටින්ම ඉන්න ඕනි. ගෙදර උයන්න පිහන්න තහනම්. පිරිමියෙක් දිහා බලන්නත්  තහනම්. ඔය කාරණේ හින්දා තමයි සුගිතවත් ඔය ගේ පිටිපස්සේ චෞපදියේ හිර කරලා  ඇත්තෙ."
" එතකොට අම්බිකා ඇයි මට ඒක වසන් කළේ"
"පුෂ්පා ජී වැඩ  කරන්නේ යූ. එන්. එකේ නේ. අනික කාන්තාවන්ගෙ අයිතිවාසිකම් කඩ කිරීමක් නේ මේ  චෞපදී සිරිත.  ඒක රටට කැළලක් ගෙනෙන නිසා එයා වහන් කරන්නැති.
               මම චෞපදි මඩු ගැනත් වැඩිවිය පැමිණිච්ච ගැහැණු ළමයින්ව මාස් ශුද්ධිය  පවතින කාල සීමාව තුළ චෞපදි මඩුවල සිර ගත කිරීම ගැනත් සොයා බලන්නට ගත්තේ ඉන්  පස්සෙ. මේ සිරිත බොහෝදුරට පවතින්නේ නේපාලයේ බස්නාහිර පළාතේ. හැම ගෙදරකම  පාහේ වත්ත පිටුපස 'චෞපදි මඩුවක්' දකින්න පුළුවන්.
                  නේපාලයේම වැසියන් කොටසක් මල්වර වීමට පෙර දැරියක්  දුර්ගා දේවියගේ අවතාරය  ලෙස දකිමින් 'සජීවී දෙවඟනක් සේ සිතමින් ඇයට පුද පූජා තබමින් ගරු කරද්දී, ඇය  මල්වර වීමෙන් පසු ඇයගේ ස්වභාවික ඔසප් චක්රය සිදුවන කාල සීමාවේදී චෞපදි  මඩුවක සිරකමින් ඇය කිළුටක් සේ දකින්නේ කෙසේදැයි මා ප්රශ්න කළ විට  කිසිවෙකුත් එයට පිළිතුරු සපයන්න ඉදිරිපත් වුණේ නැහැ.  .
                මේ චෞපදී මඩු සම්ප්රදාය නිසා යුවතියන්ගේ, කාන්තාවන්ගේ ජීවිත විනාශ වූ  අවස්ථා එමටයි. ඔබ විශ්වාස නොකරාවි, චෞපදි වල ඉඳිද්දි සර්පයන් දෂ්ට කරල මිය  ගිය කාන්තාවන් එමටයි.
                  මේ චෞපදී මඩු වල ඉඳිද්දී සමහර  කාන්තාවන්ව ඒකල දූෂණා හා සමූහ දුෂණ වලට පවා ලක් වුණු බවට වාර්තා වෙනවා.  සමහරුන් සීත කාලයේදී මඩුව තුළ පුංචි ගිනි මැලයක් ගහගත්තම ඒ දුමෙන් හුස්ම  හිරවී මැරුණු අවස්ථා එමටයි. බොහෝ විට මේ සම්ප්රදායන්ට අනුකූලව විවාහක  බිරිඳක් ජීවත් විය යුත්තේ සහකරුවාගේ පාර්ශවයෙන් එන සෝලි හා ගෙරවිලි  පැමිණිලි වලින් ගැලවෙනු පිණිසයි.

විසි එක්වැනි සියවසේ වුව බටහිර  නේපාලයේ දූවිලි සහිත පටු පාරවල් දිගේ ඇවිද යද්දි ලඳුන් සහ යුවතියන් සිර කර  තබන අවදානම් චෞපදි මඩු ඔබට තවමත් දැකගත හැකි වෙයි.