ගාල්ල අපේ රටේ ඉතිහාසයේ ඉතාම බලගතු ඓතිහාසික ප‍්‍රදේශයක් වූ රුහුණු පුරවරයේ අගනගරය බවත් දැනටමත් අපේ අමාත්‍යාංශය මගින් ගාල්ල උපාය මාර්ගික නගරයක් හැටියට සලකුණු කරගෙන ලෝක බැංකුව මගින් හඳුනාගත් ව්‍යාපෘති ගණනාවක් දියත් කර තිබෙන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකරනු ලැබුවේ, ඓතිහාසික ගාලූ පුරවරය ඇතුළු සමස්ථ රටෙහි සංවර්ධන සැලසුම පිළිබඳව විද්වතුන්, රාජ්‍ය සේවකයින් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මෙගා මයින්ඩ්ස් වැඩසටහනට සහභාගී වෙමිනි. මෙම වැඩසටහන පසුගියදා ගාල්ල කොටුව තුළදී පැවැත්වුණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ හැම දෙනාම දන්නවා එහි ප‍්‍රධාන අරමුණක් ජල කළමනාකරණය, මොකද ගාල්ල මුහුදට තරමක් පහතින් පිහිටා තිබෙන නිසා ගාල්ලේ ජල ගැලීම් පාලනය කිරීමට ඇල මාර්ග පද්ධති, ජල මාර්ග පද්ධති විධිමත් කිරීමයි එම ව්‍යාපෘතියේ අරමුණ. දෙවනුවට අපේ බලාපොරොතුව තිබෙන්නේ විශේෂයෙන්ම ගාලූ නගරයේ සංචාරක පුරවරයක් වීමට අවශ්‍ය කරන එහි විධිමත් භූ දර්ශනයක්, ලස්සන නගරයක් ඇතිකර ගැනීම සඳහා කටයුතු කිරීමයි. අන්න ඒ සඳහා තමයි අපි මුහුදු මංපෙතක් ඇති කරන්නත් ධර්මපාල උද්‍යානය විධිමත්ව දියුණු කරන්නත්, ඒ වගේම ගාලූ කොටු පවුර විධිමත්ව කෙනෙකුට භූ දර්ශණය සහිතව ගමන් කරන්න පුළුවන් තැනක් බවට පත් කරන්නත් කටයුතු කරන්නේ. ගාල්ල සඳහා අපි නාගරික සංවර්ධන සැලසුම් ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම එහි ප‍්‍රවාහන තදබදය විසඳීම සඳහා අතුරු මාර්ග සංවර්ධනය ඒ වගේම අධිවේගී මාර්ගයත් සමග තිබෙන අපගේ සබැඳියාව වැඩිදයුණු කිරීම වගේම ගාලූ නගරයේ විවිධ සේවාවන් ලබාගැනීම මහජනයාට පහසු කිරීම එහි අරමුණයි. විශේෂයෙන්ම අපි ගාල්ල ගැන මම අමුතුවෙන් කිව යුතු නැහැ. මේ රටේ ඉතිහාසයේ අපේ රුහුණු රටේ ඓතිහාසික ශක්තීයන් සියල්ලම, සංස්කෘතික ශක්තීන්, ව්‍යාපාරික ඥානය, වෘත්තීය ඥානය මේ හැම පැත්තකින්ම මේ රටට පමණක් නෙමෙයි ලෝකයටම විශාල දායාදයන් ප‍්‍රමාණයක් ලබාදුන් නගරයක් ගාල්ල හා ඒ අවට ප‍්‍රදේශය.

ඒ වගේම අපේ ගාල්ල එක්තරා යුගයක විශේෂයෙන්ම බටහිර අධිරාජ්‍ය ලෝකය පුරා ව්‍යාප්ත වන යුගයේදී මේ ගාල්ලත් ප‍්‍රධාන ස්ථානයක් උනා, ඒ අධිරාජ්‍යවාදීන්ගේ සහ අරාබිය ඇතුළු නොයෙකුත් වාණිජ ව්‍යාපාරවල ප‍්‍රධාන මූලස්ථානයක් උනා. ඇත්තටම කොළඹ වරායට වඩා ප‍්‍රභල වරාය බවට පත්වුනේ අපේ ගාලූ වරාය. විශේෂයෙන්ම 13 වෙනි 14 වෙනි සියවස්වල අරාබි ව්‍යාපාරිකයන් වෙළෙන්දන්, ඒ වගේම චීන ව්‍යාපාරිකයන්, වෙළෙන්දන් ගාල්ල, බේරුවල ඉන්දියාවේ නම් කැලිකට් නගරය, ඒ වගේම අරාබියේ ඇතැම් නගර වගේම මැලේසියාවේ මැලෙක්කා නගරය ආදිය තමයි ප‍්‍රධාන මූලස්ථානය වුණේ මේ වාණිජ කි‍්‍රයාවලිය සඳහා. විශේෂයෙන්ම මේ නිදහස් වෙළඳ කලාප ගැන අද කතාවෙනවා. ලෝකයේ පළමු නිදහස් වෙළඳ කලාපයක් හැටියට සංවිධානය උනෙත් බේරුවල ප‍්‍රදේශය. ඒ බේරුවල ප‍්‍රදේශය අරාබි සහ චීන වෙළෙඳුන්ගේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් උනා, මොකද ගාලූ වරායේ සිට තමයි ඒ ස්ථානයට ඊ ළඟ පියවර තැබුණේ. ඒ වගේම අපි දන්නවා පෘතුගීසින් මේ ප‍්‍රදේශයට අහම්බෙන් පැමිණියත් ඒ අවස්ථාවේදී ලොරෙන්සෝ ද අල්මේදා අරාබි වෙළෙඳුන් පරාජය කිරීම සඳහා පැමිණ ඔහුගේ නාවුක යාත‍්‍රා විනාශ වී නිසා ගාල්ලට පැමිණියත්, ඔවුන් වහාම වටහා ගත්තා ගාල්ලේ තිබෙන උපාය මාර්ගික වැදගත්කම ඒ අනුව තමයි ගාල්ල ගොඩනැගීමට මැදිහත් වුණේ.

ඊ ළඟට ඒ විමලධර්මසූරිය රජතුමාගේ වකවානුවේ මෙහි පැමිණි ලන්දේසීන්, ඔවුන් මුලින් පැමිණියේ මඩකලපු ප‍්‍රදේශයට. නමුත් ඔවුනුත් මේ ගාල්ල ප‍්‍රදේශයේ වටිනාකම වටහා ගත්තා. ඒ අනුව ලන්දේසීන්ගේ ආකර්ශනයත් මේ ගාල්ල ප‍්‍රදේශයට ලැබුණා. ඉංගී‍්‍රසින්ගේ ආකර්ෂණයත් ලැබුණා. ඒ අනුව බෞද්ධ පුනර්ජීවනයට මුල්තැන තබපු  ඕල්කට් තුමාගේ පැමිණීමත් මේ ගාල්ලෙන්ම සිදුවුණා යැයි ද පැවසීය.