සුමනා විජේරත්න

සලායතන ක්‍රියාකාරිත්වය හෙවත් පදාර්ථ වලට අයත් බැලීම, ඇසීම, ආග්‍රහනය කිරීම, රස බැලීම, ස්පර්ශ කිරීම, මතකය අවධි කිරීම සදහා එම සංඝටක වලට ගෝචර වන බාහිර සංඝටක සමග බැඳ තැබීමේ යාන්ත්‍රනයට කෙලෙස් හෙවත් කාම රාග කියල නම් කරනවා. ජීවිතය කියන්නේ එම බන්ධනය මගින් ජීව පදාර්ථ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරවීමට. මෙමගින් නිෂ්පාදනය කරන භාණ්ඩය සිතුවිලි ලෙස ගත්විට එම භාණ්ඩයේ ගුණය (quality) මැනීමේ නිර්ණායකය ‘භව’ ලෙස ගන්න පුළුවන්. එහිදී මුලින් කී කෙලෙස් නැමති අමුද්‍රව්‍ය යොදා අර චිත්තං කියන යන්ත්‍රනය විසින් නිර්මාණය කරන සිතුවිලි නැමති භාණ්ඩයේ ගුණය හෙවත් ‘භව’ ලෝභ දෝෂ මෝහ නැමති ප්‍රධාන වර්ගීකරණයකට බඳුන් කරනවා. මේ භව හෙවත් සිතුවිලි ක්‍රියාකාරිත්වයේ තීවෘතාවයේ ප්‍රධාන තීරකයා වන්නේ බාහිර පරිසරය විසින් පදම් කරනු ලබන විශ්ලේෂණ ශක්තියයි. (මොළය) මෙම ප්‍රධාන තීරකයා සාධාරණීකරණය කිරීමට සහ ප්‍රතික්ෂේප කිරීමට ජීවිතයක් තුළට ගැබ්වුන පෞරුෂය තුළ ඇති ශක්තිය නිසි අයුරින් ප්‍රයෝජනයට ගැනීම උඩුගං බලා යාමේ ආරම්භය ලෙස පළමු කොටසේ විවරණයක් කරන ලදී.

උඩුගං බලා යමින් තම ගමන විශ්වීය ක්‍රමවේදයක් භාවිතා කරමින් අවසානය දක්වාම මෙහෙය වූ උත්තරීතර විමුක්ති මාර්ගය සටහන් කලේ සිද්ධාර්ථ ගෞතම තවුසාණන් ය. එම උත්තරීතර තත්වය බුද්ධත්වය නමින් හැඳින්වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය සොයා ගැනීමෙන් පසුව, එම ක්‍රම වේදය සෙස්සන්ට පහදා දීමේදී උන් වහන්සේ විවිධ උපක්‍රම අනුගමනය කරා. එයට හේතුව අර මුලින් මා සදහන් කළ විවිධාකාර පුද්ගලයන්ගේ විවිධාකාර සංජානන ශක්තීන්ට ගැලපෙන අයුරින් එය කළ යුතු වූ හෙයිනි.

මෙම ක්‍රම වේදයේ සමස්තය කැටිකර දුන් ධර්ම පේලි අතර, චක්ඛුං උදපාදි, ඥානං උදපාදි, පඥ්ඥා උදපාදි, විජ්ජා උදපාදි සහ ආලෝකෝ උදපාදි නැමති ක්‍රියාපටිපාටිය හෙවත් ‘අල්ගෝරිදමය’ පැහැදිලි කිර ගැනීම මගින් විමුක්ති මාර්ගයට අවතීර්ණ වීමේ ජී.පී.එස්. එක ක්‍රියාත්මක කරගත හැකි වෙනවා. එම නිසා මේ පදවැලේ අරුත එකිනෙක පැහැදිලි කර ගන්න උත්සාහ කරමු. මේ වාඛ්‍යය ඛණ්ඩයම උදාන වාක්‍යයක් ලෙස තමයි දහම් පාසල් වල උගන්වන්නෙ. බුදු උනාට පස්සේ එහෙම කීවලු. ඉතින් ඕක කට පාඩම් කරගෙන විභාගෙට ලියනවා. ඒ විතරක් මදි නේද? එවගේම, තවත් අය මේක හරි ගැඹුරුයි, ප්‍රඥ්ඥාවන්තයින්ට විතරයි මේක අහුවෙන්නෙ කියල ගැඹුර හාරන්න හදනවා.
ඇත්තටම මේ ඛාණ්ඩය ගැඹුරුයි ඒකට හේතුව සමස්ත විමුක්ති මාර්ගයම මේ තුළ කැටිකර තියන නිසා. මේක සැහැල්ලුයි, වගේම ගැඹුරුයි. මේක තේරුම් ගැනීමට පුළුවන් වෙන්නේ මනුස්ස කියන චිත්ත තත්වයට අපි ඇවිත් ඉන්න නිසා. අපි මේ ඇල්ගොරිතමය ලෙහා ගමු විමුක්ති මාර්ගයට යෑම සඳහා.

චක්ඛුං උදපාදි

චක්ඛුං උදපාදි කියන්නේ බුද්ධත්වයට පැමිණි සිදුහත් තවුසාණන් පසුකරපු පළමු පියවර. මම දැකගත්තා. මොකද්ද දැක්කෙ? සමහරු ඕකට බටහිර meta physics එක්ක සම්බන්ධ කරගෙන ‘චක්ඛුං උදපාදි’ කියන්නේ තුන් වැනි ඇහැ මතුකර ගන්න එකට කියල පන දාගෙන හොයනවා තුන්වෙනි ඇහැක් ඇස් දෙක පියාගෙන. චක්ඛුං උදපාදි මම හොයා ගත්තා දකින ක්‍රමය ඒවගේම දැක්කා. දැක්කෙ ලෝකයේ නැත්තම් පිට සක්වල තියෙන දේවල් නෙමෙයි, තමාගේ ජීවිතය ඇතුලේ සිතුවිලි වැඩ කරන හැටි. ඒක නියමාකාරයෙන්, ඒවා ඒ ආකාරයෙන්ම දැක්කා. දකින ක්‍රමය ඒ සිතුවිලි වලට හේතුවන, ප්‍රත්‍යවන ධර්ම, ඒ ධර්ම හැදෙන හැටි, කැඩෙන හැටි, එකකට එකක් සංයෝජනය වෙලා තවතවත් ඒවා හැදෙන හැටි තත්වාකාරයෙන් දැක්කා.

දස දහස් ගනන් සිතුවිලි ඔප මට්ටම් කරන කෙලෙස් ධර්ම ස්වරූපයන් අපේ මේ ජීවිතය ඇතුලේ වැඩ කරනවා. එවා නියම විදියට අපි දකින්නේ නෑ. අපි අපිටම බොරු කර ගන්නවා. බොරු කර ගන්න තමයි අපිට උපන් දා ඉදලම සමාජය හුරු කරන්නේ. සමාජය උරණ වෙයි කියල තමයි අපි ඒ බොරුව කරන්නෙ. අපි බයයි අපේ හිතේ තියන දෙය තත්වාකාරයෙන් දකින්න. පොඩි උදාහරණයක් දෙන්නම්. අපේ දරුවෙකු විභාගයෙන් වැඩි ළකුණු ගත්තොත් අපි සතුටින් උදම් වෙනවා, හැමෝම එක්ක කියනවා. අපි හිතනවා ඒක මව්පිය සෙනෙහස කියල. ඒත් එතන වැඩ කරන්නේ ලෝභය කැටි වුන ආත්මාභිමානයෙක්. ඒ සිතිවිල්ල කිසීම වැරැද්දක් නෑ. එකම දේ මේ මාර්ගයට පිවිසෙන්න නම් දකින්න ඕනෑ ඒ නිවැරදි ධර්ම ස්වරූපය. ඒක නොදැක එතනින් එහාට යන්න බෑ. ඒ වගේමයි, දරුවා විභාගය පේල් වුණොත් මොකද කරන්නේ? බොහෝම විස්සෝප වෙනවා. අපි හිතනවා ඒ ආදරය කියලා. එහෙත් නියමාකාරයෙන් දකිනවා නම් ඒ ශෝක සිතිවිල්ල උත්පාදනය කළේ හීනමානය කැටිකර ගත් ද්වේශමය ධර්ම ස්වරූපයක්. අපි හැමෝම හැම දෙයක්ම අභිනන්දනය කරනවා කියන්නේ ඕකට. අභිනන්දනය පැවැත්මට අවශ්‍ය දෙයක්. මෙතන ප්‍රශ්නය අපි අපේ සිතුවිලි නිශ්පාදන ක්‍රියාවලිය හදුනානොගැනීම.

විමුක්ති මාර්ගයට පිවිසෙන්න නම් හැම සිතුවිල්ලකම නියම ස්වරූපය දකින්න ඕනෑ. ඒ දැකීමෙන් තමයි අපිට ඒ ධර්මයේ ගුණ හෙවත් එය උපද්දවන උෂ්ණත්වයේ තීවෘර තාවය මැන ගත හැකි වන්නේ. මානය නැතිකරන්න බැහැ මැනිල්ල හරියට නොකර. මැන මැන, බෙදා බෙදා තමයි දකින්න පටන් ගන්න ඕනෑ. රාගයද,ලෝභයද, ඊර්ෂ්‍යාවක්ද, මච්චරියක්ද, ක්‍රෝධය, වෛරයද, පලිගැනීම ද නැත්නම් ඒ අතරතුර තියන ‘ලක්ෂ සංඛ්‍යාත පරාසයන්’ කියල අපිට දකින්න පුළුවන් එහෙම බලන කොට. එවා හරියට දකින්න බලන්න ඕනෑ තමාගෙ ඇතුලතාන්තයෙ විතරයි. ඒවගේම මේ දැක්ම කළ යුත්තේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු මධ්‍යයේ සිට මිස එයින් පිටට ගිහිං නොවෙයි කියන එක තමයි වැදගත්ම කාරණාව. දැකීම නියමාකාරයෙන් කරන්න බැහැ සීමාන්තික පරිසරයක ඉදගෙන. ‘පට්ට ආතල්’ එකක් ගන්න පුළුවන් අර කවුද ළමයෙක් භාවනා පන්තියකදි කීවා වගේ. චක්ඛුං උදපාදි හරියට කරාට පස්සේ තමයි බුදුන් වහන්සේ විශ්වයම දැක්කෙ තමා තුළින්. අපි මේ දැක්ම හරියට නොකර මේ මාර්ගයට අවතීර්ණ වෙන්න බැහැ.

ඥානං උදපාදි

මීලග පියවර තමයි ඥානං උදපාදි. නිවැරදිව දකින විට තමයි පුළුවන් වෙන්නේ ඒවායේ ගුණ සහ නුගුණ මොනවාද කියන එක තෝරන්න. සිතුවිල්ලක් නිර්මාණය කරන ධර්මය නිවැරදිව දැක්කොත් තමයි, ඒක තමාට ගුණ ද නුගුණද කියන එක බලන්න පුළුවන් වෙන්නේ. උපද්දවන සිතුවිල්ල අධික පීඩනයක් ගෙන දෙන්නේ නම්, එය දරා ගත නොහැකි තත්වයට පත්වුණාම තමයි අපි වචන සහ ක්‍රියාකාරකම් වලින් ඒවා පිට කරන්නේ. බාහිර නිමිති එක්ක ඇතිකරගන්න හබයත් එක්කනෙ මේ සිතිවිල්ල අපි හදන්නේ. ඒත් පීඩනයක් සහිත තදවීම සහ රත්වීම හටගන්නෙ අපේ ජීවිතය ඇතුළේ. ඒක තමයි අපි හැගීම්, වචන සහ ක්‍රියාකාරකම් වලින් පිටට දෙන්නේ.
පදාර්ථ වල ක්‍රියාකාරීත්වය හෙවත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සිතුවිලි ක්‍රියාත්මක වීමේදී ඇතිවන තදවීම, ඒ සදහා ඉඩදෙන බුරුල් ගතිය සහ ඒ සමග ඇතිවන රත්වීම හේතු කොට ගෙන සිදු වන කම්පනය හෙවත් චලනය තුලින් තමයි රූප කලාප බිහි වන්නේ. ඒ බිහිවන රූප කලාප වල ස්වරූපය තීරනය කරන්නේ ඒ සිතුවිල්ලට පදනම් වන ධර්ම ස්වරූපය යි.

ඥානං හෙවත් නුවණ යොදවා බලනවා කියන්නේ ඉහත සදහන් ආකාරයට ඉපදෙන සිතුවිලි වලට පදනම් වු ධර්මය තමන්ට ගුණද නුගුණ ද යන්න මැන බැලීමට. තමන්ට නුගුණ දෙයක් කිසිදු විටක ලෝකයට ගුණ වන්නේ නෑ. එසේම තමන්ට ගුණ දෙයක් කිසිදු විටක ලෝකයට නුගුණ වෙන්නේ නෑ. හැබැයි මෙම නියාය නිවැරදි වන්නේ මීට කලින් විස්තර කළ මුල් අදියරේ කළ යුතු දැක්ම හෙවත් චක්ඛුං පියවර නිවැරදිව කළොත් පමණයි. කාම රාග හෙවත් කෙලෙස් උපදවන ‘ලෝභය’ පීඩාවක් වන්නේ අපි කැමති දෙයක් අත්පත් කරගැනීමට හෝ එය පිළිබඳව මතු බලාපොරොත්තු ඇති කරගෙන ඒවා අභිනන්දනය කිරීමට අපි පුරුදු වී ඇති නිසායි. එම ධර්මයයේ ප්‍රතිඵල සහ ආනිසංස (results & outcome) පිළිබඳ නිවැරදි විශ්ලේෂණයක් කිරීම තුළින් තමයි අපට හැකි වන්නේ එය තමාට ගුණ ද නුගුණ ද යන්න පහදා ගැනීමට. උත්පාදනය වූ ලෝභය මච්චරිය, ඊර්ෂ්‍යාව, ද්වේශය ආදී සැම ධර්මක්ම තම සිත පීඩනයට පත් කරන ප්‍රමාණය නිර්ණය කිරීම ඥානය උත්පාදනයේ අඩි තාලමයි. එම අඩිතාලම පිහිටුවා ගැනීම ‘ධර්ම දානය’ යි. එනම් තම සිතට පීඩනයක් දෙන ධර්ම ස්වභාවය සිතුවිල්ලෙන් ඈත් කිරීමට ක්‍රියා කිරීමයි.නුගුණ දේ ඈත් කරාම ඉතුරු වෙන්නේ ගුණ දේයක් වෙන නිසා ආයෙ ගුණ දෙයක් කරනවා කියල කරන්න දෙයක් නෑ. අපි මුලින් කී උදාහරණයම ගත්තොත්, දරුවා විභාගයෙන් පේල් වීම නිසා ඇතිවන දුක සාමාන්‍ය දෙයක්. ඕනෑම කෙනෙකුට ඒක ඇතිවෙනවා. හැබැයි ඒ වේදනාව අපි නිමිත්ත දෙසට යොමු කිරීම කලොත් දරුවාට දොස් කියන්න පුළුවන්. දරුවන් හිත් වේදනා වෙන් තවත් කම්පා වෙන්න පුළුවන්. හැබැයි අපි ඥානය පාවිච්චි කරොත් නිමිත්ත අතහැර අපේ හිත් ඇතිවූ ධර්මය දෙස බැලීමේදී අපට පේනවා අපේ නියම ස්වරූපය. අපි දරුවන් ගෙන් මහා ලොකු දේවල් බලාපොරොත්තු වනවා. ඒ ලෝභය. අපේක්ෂාව කඩ උනාම ද්වේශයක් හට ගන්නවා. මේ තත්ත්වය ඥානය යොදා බැලීමේදී අපිට පුලුවන් එයින් වන අහිතකර ප්‍රතිඵල වලක් වන්න. ඒකෙන් පුළුවන් සිතුවිල්ල සෞම්‍ය කරගෙන වාචික සහ කායික ක්‍රියාකාරකම් නවතා දාන්න.

පඥ්ඥා උදපාදි

මීළග පියවර ප්‍රඥාව උත්පාදනය කිරගැනීම හෙවත් ප්‍රඥ්ඥා උදපාදි යන පදය. මෙතන දී කෙරන්නේ මුලින් විස්තර කළ මැනීම් තුළිින් දෙන විශ්ලේෂණය පදනම් කරගෙන තම සිතුවිලි වල පීඩනය අවම කිරීමට අවශ්‍ය නිගමනය ලබා දීමයි. ප්‍රඥාව හැම විටම තීරකයා හෙවත් විනිශ්චය කරුවා වශයෙන් කටයුතු කරනවා. ප්‍රඥ්ඥාව තීරකයා වන හැම විටම පීඩනයක් ලැබෙන පැත්තටම බර සත්ව ජීවිතයක ස්වයංක්‍රීය ක්‍රියාවලිය එම පීඩනය අවම මට්ටමක තබා ගැනීමට විධාන ලබාදෙනවා. විඤ්ඤාණය සහ ප්‍රඤ්ඤාව යන දෙකේ වෙනස එයයි. විඤ්ඤාණය ස්වයංක්‍රීය කැමැත්ත පසුපස හඹා යමින් නිමිත්ත අභිනන්දනය කරනවා. එහෙත් ප්‍රඤ්ඤාව නිමිත්ත අතහැර එයට හේතු කාරක වු ධර්ම ස්වභාවය විශ්ලේෂණය කර නිගමනයක් දෙනවා ගමන් කළ යුතු යහපත් දිශාව සහ වේගය පිළිබඳව. දරුවාගේ විභාග ප්‍රතිඵල හමුවේ ඇතිවුන සිත් මෙහිදී මුලින් සදහන් කල ලෝභාදී පීඩිත ධර්ම අතහැර දාන, ශීල, භාවනා ප්‍රගුණ කර පීඩිත සිතුවිලි වලින් වියෝජනය කිරීම අරඹනවා.

විජ්ජා උදපාදි

ප්‍රඥාව මගින් දෙන විධානය ක්‍රියාත්මක කිරීමේ විද්‍යාත්මක ක්‍රම වේදය සහ එය ක්‍රියාවට යෙදීම තමයි විජ්ජා උදපාදි කියන්නේ. මොකද්ද මේ විද්‍යාව? හැබැයි පෝඩ්ඩක් සාවදානව ප්‍රඥාව යොදවන්න ඕනෑ මේකට. අර ඉස්සෙල්ලා කිව්වා අනුපිළිවෙලට, ඉපදෙන ඉපදෙන සිතුවිලි වලට ප්‍රත්‍යය වෙන ධර්ම ස්වභාවය ඒ ආකාරයෙන්ම දැකගෙන, එහි ගුණාත්මක භාවය හඳුනාගෙන, සිතිවිල්ල පීඩනයක් ගෙන නොදෙන ආකාරයට ක්‍රියාවේ යෙදවීම සදහා තීරණය දී, එම තීන්දුව ක්‍රියාත්මක කිරීම තමයි විද්‍යාව.

ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ මර්මස්ථානය ඒ දැකගත් ධර්ම ස්වරූපය. “දානය” යනු අන්න ඒ ධර්ම ස්වරූපය අත්හැර දැමීම. සිතුවිල්ල හෙවත් චේතනාවක දරණ ස්වභාවය තමයි සිතුවිලි ක්‍රියාකාරිත්වයේ තීවෘර තාවය තීරණය කරන්නේ. කිසිම කොන්දේසියක් නැතුව අතහැර දමන්න කියන්නේ අන්න ඒ ධර්ම ස්වභාවය. හැබැයි ඒක එකපාරටම කරන්න බැරි නිසයි මුලින්ම අභිනන්දනය නොකර සිටිය යුතුය කීවෙ. අභිනන්දනය කිව්වේ අපි ඒක මොහොතක ලබන වින්දනයක් යලි යලිත් ලැබීමේ අභිලාෂයෙන් හැමවිටම ක්‍රියා කරනවා. ඒක තමයි පසුතැවිල්ල සහ බලාපොරොත්තු කඩවීම ඇතිකරන්නේ. අනිත් කරුණ තමයි, බාහිර නිමිති අපට උවමනා විදියට හැසිරෙන්න ඕනෑ කියල හිතන එක. අන්න ඒ අනුසාරයෙන් තීවෘර සංචේතනා හදා ගන්න එක අතහැර දාමීම තමයි මෙම දාන කියල ශීලයට පදනම හදන්නේ.

මේක එක පාරම කරන්න බැරි නිසයි ක්‍රම වේදයක් කීවෙ තුන් සිතෙත්, එනම් සිත, කය වචන කියන තුන් ආකාරයකට බෙදලා දැක්වූයේ. සිතුවිල්ලක හෝ චේතනාවක මෙහෙවර සම්පූර්ණ වෙන්නෙ මේ තුන් සිතෙන්ම කෘත්‍යය ඉටු කිරීම තුළින්. ආවේගයක් එන එක එක පාරටම නවත්වන්න බෑ. සිතුවිල්ලත් එක්කම රූප කලාප බිහිවෙලා, මුණ රතු වෙලා වෙනස් වෙනවා. ඒත් අපට ඒක වචන වලට දැමීම සහ ක්‍රියාත්මක වීම නවත්වලා ධර්ම ස්වභාවය දෙසට අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට පුළුවන් අර චිත්ත ප්‍රවේගයේ සැර බාල කරලා තමන්ට වෙන අහිතකර පීඩනය අඩු කර ගන්න. ඒකෙදි සිතුවිලි වේගයේ සැර බාල වෙලා ජීවිතය සෞම්‍ය වෙනවා. එදිනෙදා ජීවිතයේ දී මෙන්න මේ කාරනාව ප්‍රගුණ කරන එක තමයි ‘ශිලය’ කියල විස්තර කළේ. එහෙම නැතුව සුදු රෙදි ඇඳගෙන හිමින් අඩිය තියලා යන එක නෙමෙයි.

මේක හැම මොහොතකම නිසි අයුරින් ප්‍රගුණ කිරීම තමයි භාවනාව කියන්නෙ. ප්‍රගුණ කිරීම සාර්ථකව කරගෙන ගියාම සිතුවිලි උපදවන එක සෞම්‍ය ආකාරයට නිරන්තරයෙන් සිදු වනවා. එවිට ශීලය සමාධියක් බවට පත් වෙනවා. මෙහි ක්‍රියාත්මක ස්වරූපය තමයි සතිය හෙවත් ‘අප්පමාදෝ අමතපදං’ විග්‍රහය තුළ තියෙන්නේ. බොහෝ සම්ප්‍රදායික ඉගැන්වීම් වල අප්පමාදෝ අමතපදං හරි ගොරහැඩි විදිහට නිර්වචනය කරනවා පමා නොවී පිං කර ගන්න කියල. එහෙත් අප්පමාදෝ කීවෙ ප්‍රමාද නොවී සතිය ප්‍රගුණ කරන්න කියන එක. සිතිවිලි ඉපදිලා, ඒවා වචන වලින් හෝ ක්‍රියා ස්වරූප වලින් පිටට දෙන්න කලින් ඒක දකින්න පුළුවන් වෙන්න ඕනැ. එවගේම අප්‍රමාදව සිතුවිල්ල වචන වලට හෝ ක්‍රියා වන්ට සංසරණය වෙන්න කලින් එහි තීවෘර තාවය හදූනාගෙන (ඥානය) කළ යුතු දෙය තීරණය කරමින් (ප්‍රඥාව) කළ යුත්ත කිරීමයි. අමතපදං යනුවෙන් සදහන් කලේ මෙම නියාය ක්‍රියාත්මක කිරීම අමරණීය ලෙස නොකඩවා ජීවිතයට අනුගත කරගත යුතුය කියන එකයි. ගැඹුර ගැබ්ව ඇත්තේ මෙය තේරුම් ගැනීමට නොව ඉපදෙන ඉපදෙන හැම සිතුවිල්ල ක් පාසාම. එය ක්‍රියාවට නැංවීම තුළයි.

ආලෝකෝ උදපාදි

මෙම ක්‍රම වේදයේ අවසාන ප්‍රතිඵලය ආලෝකෝ උදපාදී හෙවත් ලෝකයෙන් එතෙර වීමයි. ලෝකීය ජීවිතය පටන් ගත් දා සිට මනුස්ස චිත්ත ශක්තිය ඇති ජීවියා නටවනු ලබන්නේ ලෝකය විසින්. ලෝකය නැමැති බෙර පදයෙන් දූරංගම වී තම ජීවිත ශක්තියට අනුගතව ක්‍රියා කිරීම යනු මේ උඩුගං බලා යාමයි. “ආලෝක” යන්න ආලෝක කය සම්පූර්ණ විමක් හෝ දෑස් පියාගෙන සමථ භාවනාවේ යෙදෙන විට පෙනෙනවා යැයි කියන ලුමිනස් එලි නොවන බව මෙයින් පැහැදිලි වෙනවා. විද්‍යාත්මක ක්‍රම වේදයක් ඔස්සේ තම අභ්‍යන්තර සිතුවිලි හෙවත් ජීවිතය ජීවත් කරවන චේතනා තර්කානුකූලව මෙහෙය වමින්, බාහිර ලෝකය විසින් සත්වයා මත පටවන කෙලෙස් බැමි වලින් මිදී තම විමුක්තිය සොයා යන ගමනේ මාවත සෙසු මානව සංහතිය වෙත විවෘතකර දීමේ භාග්‍යය උදාවීම ආලෝකෝ උදපාදි නම් වේ. බුදුන් වහන්සේ උදාන වාක්‍යය ක් ලෙස මෙය ප්‍රකාශ කලේ මෙම පණිවුඩය ලෝකවාසී සත්වයින්ට දැනුම් දීමටයි.

මීලගට විමුක්තයේ ගමන් මග හෙවත් බුදුන්ගේ සමාජ වාදය.

අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ ගේ දේශනා ඇසුරෙන්..