අසංක සායක්කාර

නාට්‍ය කලාවේ ශුද්ධෝත්තමවාදය’ කුඩුපට්ටම් කිරීමට මොන්කාඩා ප්‍රහාරයක්





‘තෙත් භූමි’ නැරඹීමෙන් අනතුරුව ඒ ගැන යමක් ලියා තැබීමට සිතා සිටියත් එය මේ දක්වා පසුබැස්සේ අවිවේකිත්වය නිසා ය. මේ කෙටි වචන කිහිපිය ලියා තබනුයේ නදීකා බණ්ඩාර ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමේ ශ්‍රමයට සේම වෑයමට කරන ගෞවරයක් ලෙසින් බව පළමු කොට කිව මනා ය.

කුරිරු රංගයක් ලෙසින් නම් කළ ‘තෙත් භූමි’ ඉදුරාම අසම්මත නාට්‍යමය අත්දැකීමකි. නාට්‍යයක් ලෙසින් වර නගා ඇති නිර්ණායකන් ඔලුවෙන් සිටුවා කණපිට හැරවීමකි. ඒ නිසාම බොහෝ පිරිසකට මෙය නාට්‍යයක් නොවෙනු ද ඇත. නදීකා විවර කරන මේ නව එළැඹුම වින්දනයට විචාරයට සහ ග්‍රහණයට නතු කරගත යුත්තේ එයම ඉල්ලා සිටින විචාර වින්දන ග්‍රහණ වේදයන්ට යටත්ව ය. සම්මත කෝදුවලින් එය මිණිය නොහැක. එසේ මනින්නට තැත් කිරීම ම ගොන් වැඩකි. ඒ අර්ථයෙන් ගෙන මෙය විචාරය කිරීම ලාංකේය විචාරකයන්ට පැවරෙන වගකීමකි.

තවත් නාට්‍යකරුවෙකු ලෙස මට කීමට ඇත්තේ මම නම් මළාට ඔය විදියේ නාට්‍යයක් නොකරන බවයි. මම එවැන්නක් නොකිරීම යන්නෙන් නදීකාට එවැන්නක් කිරීමට ඇති අයිතිය කිසිලෙසකින්වත් හෙළා දැකීමක් සිදුවන්නේ නැත. ලාංකීය නාට්‍ය කලාවේ ශුද්ධෝත්තමවාදය’ කුඩුපට්ටම් කිරීමට ඔය ආකාරයේ මොන්කාඩා ප්‍රහාර දහස් ගණනින් වුවමනාවේ. මම එවැන්නක් නොකිරීම යන්නෙන් එවැනි වර්ගයේ නාට්‍ය විඳීමට, විචාරයට මට ඇති අයිතිය ද අහෝසි නොවේ. ‘තෙත් භූමි’ තුළ අපට සමපාත වන්නේ නළුවන් නිළියන් නොව මිනිසුන් සහ ගැහැණුන් ය. ඔවුහු රඟපාන්නේ නැත. හැසිරේ. පෞද්ගලික වශයෙන් ඒ බොහෝ ගැහැණුන්ගේ මිනිසුන්ගේ ජීවිත අන්දර ගැන ඡායාමාත්‍රික අවබෝධයක් ඇති නිසා ඒ හැසිරීම් බොහෝ අව්‍යාජ බව දැනේ. නදීකා වේදිකාව මත පුපුරුවා හරින සියලු වේගයන්’ වඩා තීව්‍ර වන්නේ ඒ අව්‍යාජ සංවේදයන් මුහුවීම තුළිනි.

‘තෙත් භූමි’ තුළත් ඉන් පිටත් නදීකා නගන වේගයන්’ සමඟ පාර්ශවීය එකඟතාවන් සේම පාර්ශ්වීය විවේචනයන් ද මට ඇත. පීඩිත භාවය ගැහැණියට ඌණනය කිරීමත්, ක්‍රමවිරෝධය පුරුෂ විරෝධයකට ඌණනය කිරීමත් ඇගේ වේගයන්’ තුළ ඇති විශාලතම ගැටලූවයි. ‘තෙත් භූමි’ තුළ ගලන්නේ ද එයම පමණි.

ව්‍යාජ දේශපාලන සටන් පාට ඔසවා ගත් ව්‍යාජ අරගලකරුවන් සිටින භූමියක නදී අව්‍යාජ සටනක් දියත් කරයි. එය දෙකක් නොව එකකි. ඇය නවකතාවක් ලිව්වත්, දේශනයක් පැවැත්වුවත්, නාට්‍යයක් කළත් එයින් ගලන්නේ එකම වේගයකි’. එකඟතා, විවේචන සහිතව වුව දෑතම ඔසවා මා ආචාර කරන්නේ නදීගේ ඒ එඩිතරකමට සහ අව්‍යාජකමටයි.