පසුබිම

වර්තමානයේ ලංකාවට සමාජ ව්‍යාපාරයක් අවශය ඇයි යන්න මෙහි සරල පසුබිමයි. ලිබරල් වෙළදපලක් සමග මිශ්‍ර වූ යටත්විජිත පරිපාලන රටාවක් ඇති ආසියාතික වැඩවසම්කරනය තවමත් ඇති රටක් ලෙස ලංකාව පිලිබඳ පොදු හැඳින්වීමකට පැමිනිය හැකිය. එසේම පොදු සංවර්ධනය වෙනුවෙන් හා භූමිය හෝ රට වෙනුවෙන් අවස්ථා කිහිපයක ලක්ෂයකට වඩා වැඩි පිරිසක් ජීවිත පරිත්‍යාග කොට ඇති රටක සමාජ ව්‍යාපාර අවශ්‍ය ඇයි යන්න තවත් පැහැදිලි කල යුතු නොවේ. එයින් ගම්‍ය වන්නෙ මිනිසුන් තව දුරටත් සමාජය කෙරෙහි විශ්වාසයක් තබා ඇති බවයි.


උත්සාහයන්

නොයෙක් මතවාද වලට අයත් කණ්ඩායම් හා සංවිධාන විසින් 1800 ගණන් වල සිට කැරලි, හර්තාල්, සංවිධාන, පක්ෂ, විප්ලව, සන්නද්ධ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, එකමුතු, සන්ධාන, ලෙස “සමාජ ව්‍යාපාර“ නිර්මානය කිරීමට උත්සාහ කරන ලදී. මෙම එකදු උත්සාහයක් හෝ “සමාජ ව්‍යාපාරයක්“ ලෙස හැඳින්වීමට අවශ්‍ය සාධක සම්පුර්ණ කර නොතිබිණි. මෙම සාධක වලට සරලව අයත් වන පළමු සාධකය වන්නේ සංවිධානය “සමාජීය“ නොවීමයි. ලංකා සමාජය වෙනුවට එහි තිබුනේ යම් ආකාරයක සීමාකාරී මතවාදයන් ප්‍රමාණයක් පමණි. සාමාන්‍ය ජනතාවට මතවාද අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ සිය අභ්‍යන්තරික අවශ්‍යතාවයන් වෙනුවෙන් වැඩ කරන ව්‍යාපාරයකි. මතවාදයක් නොමැතිව කිසිවක් කල නොහැකි බවට වන අදහස මේ මොහොතේ මතු වේ. එය පිලිගනිමි.


“මතවාදය“ බවට පත්වන “පුළුල් දෙය“ කුමක්ද?

එය මතවාදීමය හා අධ්‍යයනික පාර්ශ්වයෙන් බැලූ විට ගැඹුරු විශ්ලේෂණාත්මක අධ්‍යයන කටයුත්තකි. ඔව්, එම අධ්‍යයනය අවශ්‍යයි. එය සිදු කරන ගමන් බලමු. සරලව බැලූ විට පවතින ධනේෂ්වර ලිබරල් සමාජ රටාව හා අනෙකුත් සියළු මතවාද හා මිනිසාගේ ස්වභාවය මත ඔවුන් “සංවර්ධනයක්“ බලාපොරොත්තු වේ. එය නිරන්තරයෙන් ඇති වන වෙනස්කම් මගින් ඔවුන්ගේ ජීවන රටාවේ පහසුවක් ලෙස සරලව අර්ථකථනය කරගත හැකි වේ. මේ සරල ස්ථානයේ සිට ගමන් කල නොහැකිද?


ආරම්භය කොහිද?

සමාජ ව්‍යාපාර වල ආයතනික ආරම්භයන් තිබේ. මතවාදීමය ආරම්භයන් තිබේ, ප්‍රායෝගික ආරම්භයන් තිබේ. රැඩිකල් ආරම්භයන් තිබේ. සිද්ධි මූලික ආරම්භයන් තිබේ. නමුත් “ජාතික“ ආරම්භයක් වන ආරම්භක ප්‍රවේශය අප ගත යුත්තේ කොතැනින්ද? නැවත හැරී බලමු. ලංකාවේ ජනගහනයෙන් 20%ක් වත අවම තරමින් සක්‍රියව දායක නොවන එකක් සමාජ ව්‍යාපාරයක් වන්නේ නැත.  “ජාතික“ ආරම්භයක් සදහා වන ප්‍රවේශයන් “සිය ගණනක්“ තිබිය හැකිය. එයට හේතුව වන්නේ ලංකාව “පොදු සමාජ මතවාදයක්“ වෙනුවෙන් තවමත් සංවර්ධනය වී නොමැති නිසාය. එකිනෙකට වෙනස් මතවාද සිය ගණනක්, ප්‍රදේශ සිය ගණනක්, ආයතන සිය ගණනක්, මිනිසුන් දහස් ගණනක් එකම සමාජ ව්‍යාපාරයක් සදහා ගොනු කල හැකි “සමාජ විභවය“ පවතින්නේ කොහිද? එම අවස්ථාවේ සමාජ ව්‍යාපාර වල ආරම්භය පවතී.


සමාජයීය බවෙහි ප්‍රතිශතය ලංකාවේ සමාජයීය බවෙහි ප්‍රතිශතය ඉතා අවම මට්ටමක පවතී. සමාජයීය හැසිරීම් වල නිරත වන්නේ පොලීසිය, හොරුන්, බස් ව්‍යාපාරයේ ඉන්න අය, දේශපාලඥයින්, ආදී ඉතා සුලු පිරිසක් පමණි. ඉතිරි සියළු දෙනා ආයතනික හිරකරුවන්, පවුලේ හිරකරුවන් බවට පත්ව ඇත. “සමාජ වුවමනාවක්“ ඇති පිරිස පොත් එලිදැක්වීමකදී, රැස්වීමකදී, බොන වෙලාවක, මගුල් ගෙදරක, මල ගෙදරක ආදී නිමේෂයන් වලදී පමණක් මේ “සමාජීය අවස්ථාව“ බුක්ති විඳී. සමාජ ව්‍යාපාරයක් පවතින්නේ මෙම “සමාජ අවකාශය“ තුළය. ලංකවේ සමාජ අවකාශ අහේනියක් ඇත. මෙය ඉතා තදින් සලකා බැලිය යුතු අවස්ථාවකි. “අපට ස්ථාවර සමාජ අවකාශ නිර්මානය කල හැකිද“? එහි සමාජ ව්‍යාපාරයක් සදහා වන තවාන් සඳහා අවශ්‍ය පසක් සකස් වේ.


ඊනියා ආයතනික සමාජ ව්‍යාපාර


සර්වෝදය, ජවිපෙ, බොබසේ, රාජ්‍ය නොවන සංවිධාන වලින් බිහි කරන ලද ව්‍යාපාර, අපි වෙනුවෙන් අපි, එක්ස් කණ්ඩායම, පුරවැසි බලය, දේශපාලන පක්ෂ, යනාදිය මගින් නිදහසින් පසු ලංකාවේ සමාජ ව්‍යාපාර යැයි කිසිවක් හදන්නට උත්සාහ ගන්නා ලදී. ඒවා කිසි දිනෙක සමාජ ව්‍යාපාර බවට පත් වන්නේ නැත. එයට හේතුව එහි ඇත්තෙ සමාජය විකුණමින් සමාජයීය විභවය ආයතනය වෙත පොම්ප කරගනිමින් එය ආයතනික අරමුණු වෙනුවෙන් කඩේ යාම සදහා පාවිච්චි කිරීමයි.


“සමාජ විශ්වාසය“ ඔවුන් විසින් මිළට ගනු ලබන්නේ සිය මතවාදය තවරමිනි. ඔවුන් කිසිදු විටෙක “සමාජ කාර්යයක්“ සිදු කරන්නේ නැත. නමුත් ජනතාව හා සමාජය වෙත ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් “සමාජය වෙනුවෙන්“ වැඩ කරන බවය. විද්‍යාත්මකව සලකා බලන විට “ආයතනගත සමාජ ව්‍යාපාර මගින් ක්‍රියාකාරිත්වයන් ආයතනගත කරනවා මිස සමාජගතකරන්නේ නැත“. එයින් සමාජ දේහය දරුණු සූරාකෑමකට ලක් වේ. මෙම සූරාකෑම මගින් අවසාන වශයෙන් සමාජය තුල ඇති ශක්තිය මෙම ව්‍යාපාර මගින් උරා ගනු ලැබේ. වර්තමාන ලංකාවේ “සමාජ වැඩ හා ව්‍යාපාර කෙරහි ඇති අවිශ්වාසය“ නිර්මානය වන්නේ මේ ක්‍රියාකාරත්වයේ සෘජු ප්‍රතිඵලයක් වශයෙනි.


අවසානයේ  දළ වශයෙන් හො තිබූ සමාජ විශ්වාසය තමන්ගේ ආයතන තුළට ගාල් කරගැනීම හා මිනිසුන් රැවටීම මගින් සමාජ ව්‍යාපාර ඇති කිරීමට තිබූ ඉඩ ඉහත ආකාරයේ “ආයතනික සමාජ ව්‍යාපාර“ මගින් අහෝසි කර දමා ඇත.  ඔවුන් විසින් බාර ගනු ලබන්නේ සමස්ත සමාජය සම්බන්ධයෙන් වන වගකීමයි. කිසිදු විටෙක ආයතනයකට එම විභවය නිර්මානය කරගත නොහැකිය. එම නිසා නිරන්තරයෙන් ඒවා කඩා වැටේ. පවත්වාගෙන යාම සදහා බොරු කීමට සිදු වේ. රැවටීමට සිදු වේ. මෙම රැවටීම බොරු කීම හා ආයතන තුළට සමාජ විභවය ඇදගැනීම “සමාජ ව්‍යාපාරයන්හි ස්වභාවය“ යැයි මාධ්‍ය හා වෙනත් භාවිතයන් මගින් ඒත්තු ගන්වමින් සමාජ ව්‍යාපාර නිර්වචනය විකෘති කර අැත.


එසේම රාජ්‍ය නොවන සංවිධාන විසින් බටහිර ආකෘතික සෙල්ලම් ව්‍යුහ පෙන්වමින් ඒවා සමාජ ව්‍යාපාර යැයි හඳුන්වා එම මතවාදය අවසන් කර ඇත. දේශපාලන පක්ෂ ආශ්‍රිත සමාජ ව්‍යාපාර මගින් බලය විතැන් කිරීම හෝ පෙරලීම “සමාජ පෙරලියක් “ යැයි විසුළුසහගත මතවාදයන් ගොඩනගා ඇත. ජාතිකත්ව හා ආගමික සමාජ ව්‍යාපාර මගින් සමාජ ව්‍යාපාර තුච්ඡ ලෙස ආගම්කරනය හා ජාතිවාදය දක්වා ඇද දමා ඇත. ඔවුන් සමාජ ව්‍යාපාර ගොඩනගා නැත. ඒ වෙනුවට ඉතා භයානක හා හානිදායක දෙයක් ඔවුන් විසින් සිදු කරමින් සිටිති.


ඔවුන් විසින් සමාජ දේහය තුළ ඉතා භයානක වෛරසයක් පතුරවා සමාජ වැඩ සදහා පැමිනීමට නියමිත පිරිස් සමාජයීයව ඝාතනය කරමින් සිටිති. එසේම සමාජය හා පුද්ගලයින් අතර වන පරතරය  දිනෙන් දින වැඩි කරමින් සිටිති. සමාජ වැඩ වලට සහභාගී වන්නන් නිකමුන් බවට පත් කරමින් සිටිති. ඔවුන් හැම විටම මූලධාර්මික පිරිස් බවට පත් කරමින් සිටිති. පොදු මතවාදයන් දරන්නන් සමාජ ව්‍යාපාර වලට අකැප පිරිසක් බවට පත් කරමින් සිටිති. පසුගිය දශක කිහිපය පුරා “සමස්ත සමාජ විභවය“ ඔවුන් විසින් ඩොලර් මිලියන කිහිපයක් බවට පත් කර ආයතන බිහිකර සමාජ වැඩකරුවන් එහි කුලීකරුවන් හා සිරකරුවන් කර ම්ලේච්ඡ ලෙස සමාජ ව්‍යාපාර නැමැති මතවාදය ලංකාවෙන් අහෝසි කරමින් සිටිති.


ආයතන කල් ඉකුත් වීම ලංකාවේ ක්‍රියාත්මක ආයතන සියල්ල “පුද්ගලික ක්‍රියාකාරත්වයන් හා කණ්ඩායම් ක්‍රියාකාරිත්වයන් “ නිසා මේ වන විට කල් ඉකුත් වී ඇත. මෙහි ඉහලින්ම තිබෙන්නේ අධිකරණය, රාජ්‍ය යාන්ත්‍රණය, පාර්ලිමේන්තුව හා සමාජ සංවිධාන (ස්වෙච්ඡා, රාජ්‍ය නොවන….) සහ දේශපාලනික පක්ෂයි. එව ව්‍යුහයන් වලට තව දුරටත් “සංවර්ධන“ කටයුතු වලට මැදිහත් විය නොහැකිය, නව්‍යතා උත්පාදන ශක්තිය අහෝසි කරගෙන ඇත. එයට සිදු කල හැක්කේ පැවැත්ම හා හොරකමෙහි ප්‍රතිලාභ එහි සේවය කරන්නන්ට ලබාදීම පමණි. එයින් එහා එදිනෙදා සාමාන්‍ය වැඩ හැර කිසිවක් මෙම ව්‍යුහ වලින් සිදු වන්නේ නැත. එය සිදුව ඇත්තේ වලිගය විසින් බල්ලා වැනීමේ පශ්චාත් යටත්විජිත පුද්ගල සංදර්ශනයන් නිසාය. එම නිසා එවැනි ව්‍යුහ වලට බලය ලබාදීම හෝ බලාපොරොත්තු වීම නිශ්ඵල ක්‍රියාවකි.


සමාජ ව්‍යාපාරයක් යනු කුමක්ද සමස්ත සමාජය එහි සමාජ සංවර්ධන අභිලාෂයන් වෙනුවෙන් මෙහෙයවනු ලබන සංකීර්ණ සමාජ පද්ධතියක් වර්තමානයේ සමාජ ව්‍යාපාරයක් වශයෙන් හැඳින්විය හැකි වේ. නව ලිබරල්වාදී සමාජ වෙළදපල තත්වයක දී සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමේ සංකීර්ණතාවය (අපහසුතාවය නොවේ) විද්‍යාත්මකව සලකා බැලීම අවශ්‍ය වේ. පැරණි ආකාර සමාජ විප්ලවයක් යන්න මෙහිදී අදහස් වන්නේ නැත. මාක්ස්වාදී භාෂාවෙන් මෙය ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරයකි. අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරයකි. එමගින් සමාජ රිද්මයන් යළි ව්‍යුහගත වීම සිදු වේ. එහි ප්‍රතිලාභයන් ජනතාව, වෙළදපල හා සමාජය විසින් අත් කරගනු ඇත.  
පොදු තත්වය කුමක්ද? අතීතයේ අප විසින් හඳුන්වනු ලැබූ ඊනියා සමාජ ව්‍යාපාර විසින් යම් කිසි එක් හෝ කිහිපයක් වන අවම මතවාද තත්වයක් මත සමාජ ව්‍යාපාර පිහිටුවන ලදී. සාමාන්‍ය ජනතාව හා ව්‍යාපාරය අතර වන පරතරය තබා, සාමාජිකයින් හා සමාජ ව්‍යාපාරය අතර පරතරය ඔවුන් විසින් පියවනු ලැබුවේ නැත. බොහෝ විට එම මතවාද බටහිර, ඉන්දියානු හෝ බෞද්ධාගමික, වාමාංශික විය. මතවාද මූලික කරගනිමින් ප්‍රවේශ විය හැකි සීමාව එම සංවිධාන මගින් නිරන්තරයෙන් අත් කරගන්නා ලද නමුත් එහි ප්‍රතිශතක ප්‍රමාණය සමාජයට සාප්ක්ෂව විහිළුකාරී ලෙස අවම විය. මෙම තත්වය ගණන් නොගන්නා ආසියාතික/ලංකා උද්දච්චකමින් පිරුනු මෙම මතවාදීන් එය “ජාතික සමාජ ව්‍යාපාරයක්“ බවට නාමකරනය කරනු ලැබූයේ කොඩි, බැක්ඩ්‍රොප් හා ඩිජිටල් තිර හා මාධ්‍ය මගිනි.


“යම් සමාජ වැඩක් වෙනුවෙන් මැදිහත් වන ප්‍රමාණයෙහි ඇති සීමාකාරීභාවය“ නැමැති පොදු මානුෂීය පදනම හා ඉහත කී මතවාදීමය තත්වය කිසිසේත්ම පටලවා ගත යුතු නැත. මෙමගින් කිසිසේතම “මතවාද නොමැති සමාජ ව්‍යාපාරයක්“ යන විහිළුවට අප පැමිනෙන්නේ නැත. පැන නගින ගැටළුව වන්නේ “පොදු සමාජ මතවාදය“ කුමක්ද යන්නයි.


ලංකාවේ පොදු සමාජ මතවාදය බිහිකරන ආයතන හා ව්‍යුහයන් හදුනා ගනිමු. වෙළදපල ව්‍යුහය එහි වැඩිම කොටස අත් කරගෙන තිබේ. මාධ්‍ය විසින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යය වන්නේ මෙම වෙළද ව්‍යාපාරයන්හි එක් එක් මතවාද “සමාජ මතවාදයන්“ බවට පත් කිරීමයි. මෙය වර්තමාන මොහොතේ ප්‍රබලම සමාජ මතවාද නිෂ්පාදකයා බවට පත්ව තිබේ. නමුත් එයින් සමාජ සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් අත් නොවන්නේ එහි අරමුණ ආයතනික ලාභ වැඩි කරගැනීම පමණක් වන නිසාය. එක් ඉඟියක් ඉදිරිපත් කරමි. “සමාජ මතවාද නිෂ්පාදනයේදී වෙළඳපල ක්‍රියාකාරත්වයට අපට මැදිහත් විය හැකි ආකාය කුමක්ද යන්නයි

“ සමාජ ව්‍යාපාරයක් වෙනුවෙන් මූලික අවශ්‍යතාවය වන්නේ “පොදු භාෂාවකි“ ලංකාවේ පොදු සමාජ භාෂාව බවට පත්ව ඇත්තේ වෙළදපලයි. වාමාංශික, දක්ෂිණාංශික, ආගමික, ජාතිකවාදී,ජවිපෙ, යූඑන්පී, එල්ටීටිඊ, සංහිඳියා, ගැමි බෞද්ධ, ඉස්ලාම් සියළු මතවාදයන් දරන අය කිසිදු ප්‍රතිරෝධයකින් තොරව වෙළඳපල සමග එකතු වී ඇත.


ගොවියා, යාපනේ ගොවියා, වී ගොවියා, කාබනික ගොවියා, කුකුළු පාලන ගොවියා, කිරිගොවියා ආදී වශයෙන් මූලධාර්මිකව ගොවිතැන හා සම්බන්ධ බහුතර ජනගහනයක් ලංකාවේ ජීවත් වේ. එය ලංකාවේ පුලුල්ම වෘත්තිය බවට පත්ව තිබේ. එවැනි ආකාරයේ වෘත්තීන් හෝ ශිල්ප දහස් ගණනක් ලංකාවේ වේ.  “වෘත්තික සංවිධානය කිරීම“ සමාජ ව්‍යාපාරයක දෙවන ඉඟියයි. මෙමගින් කිසිදු ආකාරයක සම්ප්‍රදායික වෘත්තීය සමිති අදහස් වන්නේ නැත. එහි බෙදීම් පවුල්වල දෙකක් තුනක් සමිති නිර්මානය දක්වා ඌණනය වී ඇත. නමුත් ලංකාවේ වර්තමානය වන විට යම් කිසි “කාර්යයක නිරතවීම නිසා පොදු චලනයන් ගණනක් සිදු කරන හා ඒ මත පොදු විඥානයක් ගොඩනගා ගත හැකි පිරිස“ සංවිධානය කිරීම සිදු කල හැකිය. ඒ සදහා ජාලගත කළමනාකරණය භාවිතා කිරීමට පුළුවන. එය කිසිසේත්ම වාමාංශික අරගලකාරී වෘත්තීය සමිතියක් නොව සමාජ ව්‍යාපාරයක් වෙනුනේ මිනිසුන් ගොනු කරන පොදු ව්‍යුහයක් පමණි. එය දෙවන පොදු භාෂාවයි.


තුන්වන පොදු භාෂාව වන්නේ “තොරතුරු“ ය. එයට තොරතුරු නිෂ්පාදනයේ සිට හුවමාරුව දක්වා වන ක්‍රියාකාරිත්වය අවශ්‍ය වේ. ජාතික මට්ටමේ තොරතුරු සම්පාදන ව්‍යාපෘතියක් අනිවාර්ය වශයෙන්ම සමාජ ව්‍යාපාරයක ප්‍රධාන කොටසක් බවට පත් වනු ඇත. තොරතුරු සම්පාදනය හා බෙදාහැරීම තුළ ප්‍රවෘත්ති, මාධ්‍යකරනය, රූපවාහිනී, ගුවන් විදුලි ආදී සියල්ල තිබේ. නමුත් අරමුණුසහගත සමාජ ව්‍යාපාරයක් වෙනුවෙන් ඒවා යෙදැවේ.


සංවර්ධනය, ස්වේච්ඡා සමිති , සමාජ සේවා, සිද්ධි මුලික මැදිහත්වීම්, පුහුණු පාඨමාලා, රැස්වීම්, සාකච්ඡා, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ආදී සිය ගණනක් මාතෘකා තිබේ. අවශ්‍ය අවස්ථා වලදී මෙම විෂයයන් භාවිතා කිරීම කලාත්මකව සිදු කල යුතු වේ.


සමාජ ව්‍යාපාරය තුළ

සාමාජිකයින්ට ව්‍යාපාරය පිලිබඳ පුර්ණ විශ්වාසයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කර්තව්‍යයක් බවට පත් වේ.
සාමාජිකයන් රඳවාගැනීම සදහා ස්වයං ක්‍රියාකාරී ස්වභාවික වැඩපිලිවෙලක් තිබීම අත්‍යවශ්‍ය වේ.
සෑම සාමාජිකයෙකුගේම විවිධත්වය හා විශේෂත්වය ගණනය කිරීමෙන් පසුව ඔවුන්ගේ මැදිහත්වීම සදහා අවකාශ වෙන් කිරීමේ විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක් තිබීම අවශ්‍ය වේ
සාමාන්‍ය ජීවිතය හා සමාජ ව්‍යාපාරය අතර වන අත්‍යන්ත බැඳීම ස්වභාවික නිර්මානය වීමේ අවස්ථාවන් පිලිබඳව අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.
ව්‍යවස්ථාමය හා නීතිමය පදනම් අභිබවන සමාජ එකඟතාවයන් ගොඩනැගීම සදහා වන සමාජ අවස්ථා පිලිබඳ අධ්‍යයනයක් අවශ්‍ය වේ.
ප්‍රජා විශේෂත්වයන් හා විශේෂීකරනයන් අහෝසි නොවන ක්‍රමවේද හා යාන්ත්‍රණයන් තිබිය යුතු වේ.
නිරන්තර සම්බන්ධීකරණය හා සන්නිවේදනය පිලිබදව වන ස්වයංක්‍රීය ක්‍රම පද්ධතියක් සැකසීම අවශ්‍ය වේ.
ජාලගතකරනය අවශ්‍ය ඕනෑම විෂයයක් හරහා සිදු කරගැනීම සදහා වාතාවරණය ව්‍යාපාරය තුළ තැබිය යුතු වේ.
ප්‍රමාණික හා විශේෂඥ පුද්ගලයින් ව්‍යාපාරය වෙත දෙනු ලබන සමස්ත මැදිහත්වීම අවශෝෂනය කරගැනීම සදහා වන යාන්ත්‍රණයක් තිබිය යුතු වේකුඩාම පරිමානයේ සිට ඉහළම පරිමාණය දක්වා දායකත්වයන් පිලිගැනීමට හා එය දරාගැනීමට අවශ්‍ය ඉඩ නිර්මානය විය යුතු වේ.
සාමාජිකයින්ට සංවිධානය සමග පුද්ගලික ගණුදෙනුවකට අවශ්‍ය සියළු ඉඩ සැලසිය යුතු වේ.
මතවාද දරන්නන් සදහා සම්පුර්ණයෙන් ඉඩ විවර විය යුතු අතර ඔවුන්ගේ දයකත්වය ලබාගන්නා ආකාරය පිලිබදව උපක්‍රමික මැදිහත්වීම අවශ්‍ය වේ.
සමාජ ව්‍යාපාර කළමනාකරණය පහළ සිට ඉහළට එන රේඛීය නොවන ජාලගත ක්‍රමවේදයකට සකස් විය යුතු වේ.
තීරණ ගැනීම් සදහා වන අවකාශ එහි පහලම සිට ඉහළට ඕනෑම මට්ටමකට තිබිය යුතු අතර ගනු ලබන සමස්ත තීරණ සමාජ ව්‍යාපාරයට මිනිය හැකි හා පාලනය කල හැකි විය යුතු වේ.
ප්‍රජා මට්ටමේ තීරණ හා විශේෂඥ අදහස අතර වන පරතරයන් පියවීමේ යාන්ත්‍රණ ව්‍යාපාරය තුළ සකස් විය යුතුය.
ඒ ඒ ප්‍රජාවේ සමස්ත සාමාජිකත්වයට එහි තීරණ ගැනීම සදහා වන ස්වාධීනත්වය ව්‍යාපාරය තුළ තැබිය යුතු වේ.
තොරතුරු හා තීරන සම්පත් ගලනයන් තිරස් හා සිරස් අතට සිදු විය යුතු අතර ඒ ඕනෑම “ක්‍රියාවක්“ සඳහා වගකියන්නෙක් හා වගකිව යුතු සමූහයක් තිබිය යුතුය.
රෙකමදාරු කිරීම හා වගවීම සාමාජික ප්‍රවර්ධනයෙහි අත්‍යවශ්‍ය අංගයක් බවට පත්විය යුතු වේ. සාමාජිකයින්ට සෘජු ප්‍රතිලාභ ලැබීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් විය යුතුවේ.
දැනට පවත්නා ප්‍රජා / ස්වෙච්ඡා සංවිධාන ජාලගතකරනය මගින් සාමාජික ප්‍රවර්ධනය සිදු වේ. පුද්ගල මැදිහත්වීම් පිලිගනු ලබන අතර එහි බලපෑම කළමනාකරණය කරගැනීමට සමත් ව්‍යුහ නිෂ්පාදනය කිරීම සිදු කල යුතු වේ.


නව සමාජ ව්‍යුහයක් ඉහත කී සමස්ත සාධක අනුව සමාජ ව්‍යාපාරයක් වශයෙන් අපට හඳුනා ගත හැකි වන්නේ “නව සමාජ පද්ධතික ක්‍රියාකාරිත්වයකි“. පද්ධතික ගොඩනැංවීම් සම්බන්ධව අපගේ ඇති කියවීම් හා පිලිගැනීම් නවයකරනයකට ලක් කරගත යුතුව ඇත. පද්ධති පිහිටුවීම සදහා වන වේදිකාවන් වර්න් වර වෙනස් වෙමින් දියුණුව ඇත. එක්තරා ආකාරයකට එය වඩාත් පහසුකරනය වී ඇතැයි කිව හැකිය. ජනතාවගේ අරමුණු, වේගය හා සම්බන්ධකම්හි ස්වරූපය වෙනස්ව ඇත. එය සිදුව ඇත්තේ වෙළදපලට සාපේක්ෂවයි. එහි වේගයට සාපේක්ෂවයි.


සාම්ප්‍රදායිකව අප විසින් භාවිතා කරන ලද පක්ෂ, සංවිධාන, සන්ධාන, එකමුතු ආදිය දැන් වන විට වෙනස්ව ඇත. එහි කළමනාකරණ විධීන් ද වෙනස්ව ඇත. එම වෙනස්වීම විප්ලවවාදී විදියට සිදුව ඇත්තේ පිරමීඩාකාර ව්‍යුහයේ සිට චක්‍රීය ව්‍යුහයක් දක්වා ය. එය නිලබල ව්‍යුහයක සිට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් දක්වා විතැන් වී ඇත. මේ සදහා අපට තොරතුරු තාක්ෂණික පද්ධතියක් ගොඩනැගීම අවශ්‍ය වේ. එය හුදෙක් වේදිකාවක් මිස සමස්ත වැඩසටහන නොවේ. තොරරු තාක්ෂණ පදනම විසින් සියළු දෙනා සම්බන්ධිකරනය හා සංකලනය කරනු ලැබේ. තොරතුරු තාක්ෂණික භාවිතයක් නොමැති පුද්ගලයින් පිලිබද මෙම වේදිකාව තුලම වැඩ කල හැකි වේ. ඒ සදහා සම්ප්‍රදායික ක්‍රම හා වේදිකාව අතර සම්බන්ධතාවයක් ගොඩනගනු ලැබේ.


සාමාජිකත්වය සාමාජිකත්ව වර්ගසිය ගණනකින් සමාජ ව්‍යාපාරය හැඩ වේ. ප්‍රවර්තකයින්ගේ සිට සුබපතන්නන් දක්වා වන පුළුල් සාමාජිකත්ව පරාසය තුළ ලංකාවේ ඕනෑම කෙනෙකුට සාමාජිකත්වය ලබාගත හැකි වේ. ඒ ඕනෑම ආකාරයක විෂයයක්, ගැටළුවක් හෝ ගමක් හරහා ය. පද්ධතිය මගින් සියළු දෙනා සක්‍රිය සහභාගිකයන්, වැඩකරුඅවන් හා අතරමැදියන් බවට පත් කරනු ලැබේ. අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් ද සකස් කරනු ලැබේ.


සන්නිවේදනය හා තොරතුරු ගලායාම සදහා විශේෂිත මෙන්ම පොදු ප්‍රවාහයන් රාශියක් ගොඩනංවනු ලැබේ. මෙම ප්‍රවාහ මගින් නිශ්චිත හා ඉලක්කගත තොරතුරු හා ප්‍රවෘත්ති ලබාදීම සිදු කරනු ලබන අතර එම සිදුවීම පිලිබදව සජීවීව මැදිහත්වීමේ අවස්ථාව ලබා දේ. එය මතවාදයක්, ව්‍යාපාරයක්, සිදුවීමක් හෝ සටනක් බවට පත්වීමට ඉඩ සංවිධාන ව්‍යුහය තුළ ම ලබා දෙනු ඇත.


කළමනාකරණය එකිනෙකට වෙනස් විෂයයන් සිය ගණනක් සදහා වන පරිගණක වැඩසටහන් ගණනකින් මෙහි තාක්ෂණික පදනම සකස් වනු ඇත. එම වැඩසටහන් ඒකාබද්ධ කරමින් සමාජ ව්‍යාපාරය ගොඩනැගේ. විෂයයන් , ප්‍ර දේශ හා ගැටළු සදහා වගකියන පුද්ගලයින් වෙන් කර වගකිම් බාරගැනීමට ඉඩ සලසයි. එමගින් දැවැන්ත වැඩ ජාලයක් ගොඩනැගෙනු ඇත.