දර්ශන අශෝක කුමාර

ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය යනු ෆ්‍රැන්න්ෆර්ට් ගොතේ විශ්වවිද්‍යාලයෙහි සමාජ පර්යේෂණ ආයතනය හා සැබැඳිව නිර්මාණය වූ පර්යේෂණ කණ්ඩායමකි. මෙම ගුරුකුලයට ලෝක ප්‍රකට විද්වතුන් ඇතුළත් වන අතර ඔවුහු සමාජ න්‍යාය සහ දර්ශනය පිළිබඳ අධ්‍යයන සිදු කරති.

ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය නව්‍ය-මාක්ස්වාදී දර්ශනයක් මත පිහිටා ක්‍රියා කරන අතර පළමු ලෝක යුද්ධයත් දෙවැනි ලෝක යුද්ධයත් අතර කාල පරාසය තුළ දී මෙම ගුරුකුලය ස්ථාපනය විය. නව්‍ය මාක්ස්වාදී දාර්ශනිකයන් බහුතරයකින් මෙම ගුරුකුලය සකස් වුව ද ඔවුහු දැනට ලෝකයේ පවතින කොමියුනිස්ට් පාලන ක්‍රමයන් ප්‍රතික්ෂේප කරති. එසේම, ධනවාදී ක්‍රමය ද ෆැසිස්ට්වාදී ක්‍රමය ද ඔවුහු ප්‍රතික්ෂේප කරති.
ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය විසින් බිහි කරන ලද විශිෂ්ටතම න්‍යායාචාරීන් අතර තියෝඩෝ ඇඩෝර්නෝ, හබමාස්, මැක්ස් හොකයිමර්, එරික් ෆ්‍රොම්, හර්බට් මාර්කියුස් ආදීහු වෙති. මෙම න්‍යායාචාර්යවරුන් පිළිගත් මූලික අදහසක් වූයේ 20 වැනි සියවස තුළ ධනවාදය නිර්මාණය කළ සංකීර්ණ සමාජ තත්ත්වය පවතින න්‍යායන් තුළින් විග්‍රහ කිරීමට නොහැකි වන බවයි. ධනවාදය මෙන්ම සෝවියට් පන්නයේ සමාජවාදය ද ප්‍රතික්ෂේප කළ ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය සමාජ සංවර්ධනය උදෙසා විකල්ප මාදිලියක් යෝජනා කළේය.

සම්භාව්‍ය මාක්ස්වාදයෙන් විතැන් වු ඔවුහු මනෝවිශ්ලේෂණය, ප්‍රතියථානුභූතවාදය, සාංදෘෂ්ටිකවාදී දර්ශනය වැනි ප්‍රවාහයන් තුළින් ආලෝකය ලැබූහ. පළමු ලෝක යුද්ධයත් දෙවැනි ලෝක යුද්ධයත් අතර කාල පරාසය තුළ දී යුරෝපය තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ පැවැත්මට බලපෑම් එල්ල විය. බටහිර යුරෝපය තුළ කොමියුනිස්ට්වාදී විප්ලව අසාර්ථක වීම මෙන්ම ජර්මනිය තුළ නාසිවාදය හිස එසවීම ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයට අභියෝගයක් විය.

ඒ අනුව එම ගුරුකුලයේ නායකයන් කටයුතු කළේ එය ජර්මනියෙන් පිටතට ගෙන යෑමටයි. 1933 වසරේ දී හිට්ලර් ජර්මනියේ බලයට පැමිණීමෙන් පසු ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය ජර්මනියෙන් ජිනීවා නුවරට ගෙන යනු ලැබූ අතර පසුව 1935 වසරේ දී නිව් යෝර්ක් නුවරට එය ගෙන යනු ලැබීය. ඒ අනුව ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය කොළොම්බියා විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ විය. මෙය එහි ස්වර්ණමය යුගය විය.

ඇමරිකාවට සේන්දු වීමෙන් පසු ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ ජර්මානු දාර්ශනිකයන්ගේ සහ සමාජ විද්‍යාඥයන්ගේ ලේඛන සහ න්‍යායන් ඉංග්‍රීසි බසින් කටයුතු කරන ප්‍රජාව අතර ප්‍රචලිත වන්නට විය.

ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය තුළ දී ඇඩෝර්නෝ සහ හොකයිමර්ගේ එකමුතුවෙන් බිහි වූ ශාස්ත්‍රීය කෘති විශිෂ්ටතම කෘති වශයෙන් සැලකීමට හැකිය. ඇඩෝර්නෝ සහ හොකයිමර් විසින් රචිත Dialectic of Enlightenment නම් කෘතිය තුළින් බටහිර ශිෂ්ටාචාරය බරපතළ ලෙස විවේචනයට ලක් කෙරිණ. ඔවුන් මෙම කෘතිය රචනා කළේ ඇමරිකා එක්සත් ජනපදයට පිටමං වී සිටි යුගයේ දී යි. ඔවුන් හිට්ලර්ගේ දරදඬු පාලනය සහ දැවැන්ත ප්‍රචාරය කෙරෙහි කලකිරී සිටි අතර ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීමෙන් පසු දුටුවේද ධනවාදී වෙළෙඳපොළ විසින් මිනිසුන් ඉතා සූක්ෂ්ම ආකාරයෙන් පෙළන ආකාරයයි. එසේත් නැත්නම් මායාවකින් මුළා කර ඇති ආකාරයයි.
කෙසේවෙතත්, ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය විසින් අනුදුටු සමාජ සංවර්ධන ක්‍රමය තවමත් ප්‍රත්‍යක්ෂ වී නැත. එය නියත වශයෙන් ම මෙතෙක් අප අත්විඳි සමාජ සංවර්ධන ක්‍රමයන්ට වඩා නිසැක වශයෙන් ම යහපත් වනු ඇතැයි පුරෝකථනය කළ හැකිය.

http://www.ada.lk/opinion/%E0%B7%86%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%E0%B7%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%BA/2-339522