අදහස් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වන කලාව මත වාරණය ක‍්‍රියාත්මක වීම හිංසාවක් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවිරෝධී, කලා විරෝධී හා මානව අයිතිවාසිකම් උල්ලංගනය කරන ක්‍රියාවකි. මෙම ලිපියෙන් අදහස් වාරණය ගැන ඓතිහාසික, න්‍යායික හා ප‍්‍රායෝගික අංශය සැකවින් විමසීමට ලක් කෙරේ.

මෙම ‘‘වාරණය’’ හෙවත් ‘Censor’ යන වචනය ක‍්‍රි.පූ 443 දී රෝමයේ ස්ථාපිත කළ ආයතනයක නිළයකට සෙන්සොරස් (Censores) නමින් හැඳින්වීමෙන් බිහිව එන්නකි. බදු අය කිරීමේ සිට ජනතාවගේ සදාචාරය දක්වා පරිපාලන කටයුතු රැසක් එදා ඊට ඇතුලත් විය. කෙසේ හෝ ක‍්‍රි.ව 300 වන විට චීනය ප‍්‍රථම අදහස් වාරණ නීතිය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මෙසේ එදා මෙදා තුර රාජ්‍ය විසින් ආයතනික වශයෙන් ක‍්‍රියාත්මක වී අදහස් වාරණය කිරීම විවිධ අයුරින් විවිධ රටවල ක‍්‍රියාත්මක වී ඇත.

ජොන් මිල්ටන් කවියා 1906 දී ඔහුගේ කෘතිය වාරණය කිරීමට එරෙහිව එවකට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට කරන ලද ප‍්‍රකාශය එරියොපැජටිකා ( Areopagitica ) නමින් ප‍්‍රසිද්ධියට පත් විය. එය මෙතෙක් වාරණයට එරෙහිව කළ වඩාත්ම ව්‍යක්ත හා බලපෑමක් අතිකරන ලද ප‍්‍රකාශය ලෙසට ඉතිහාසගත වෙයි. මිල්ටන්ගේ අතිශය සිත් බඳනා සුළු එම ප‍්‍රකාශය ආරම්භ වන්නේ අදහස් වාරණයට එරෙහිව අදහස් ප‍්‍රකාශ කළ ආදිම නාට්‍යකරු යුරිපිඞීස්ගේ ප‍්‍රකාශයක් හකුළුවා දක්වමින්ය. ග්‍රීක රෝම යුගවල සිට සාධක ගෙන එවකට එංගලන්ත වාරණ නීතියට එරෙහිව මිල්ටන් මතුකල ඉතාම වැදගත් කරුණ වන්නේ, කිසියම් කෘතියක් ජනතාව දකින්නටත් පෙර වාරණයට ලක් කිරීම මුලුමනින්ම අදහස එලියට දැමීමට නොදීමක් බවත් පැරණි ග්‍රීක රෝම යුගවලදී පවා තිබුණේ ප්‍රථමයෙන් කෘතිය ඉදිරිපත් කරන්න ඉඩදී අනතුරුව එහි හාණිකර තත්වයක් තිබුණොත් වාරණය කිරීම හෝ දඬුවම් කිරීම බවයි. මිල්ටන්ගේ ඒ ප‍්‍රකාශය පාර්ලිමේන්තුවේ අදහස් වෙනස් කිරීමට සමත් වූ අතර එය එංගලන්තය හරහා බොහෝ රටවලට බලපෑවේය. කෙසේ හෝ 17-18 සියවස්වලට පැමිණීමේදි ඇති වූ බුද්ධි ප‍්‍රබෝධයත් සම්මතයට සම්ප‍්‍රදායට වඩා තර්කය හා ඥානය මත නිගමනවලට පැමිණිමේ උවමනාව මතුවීමත් සමඟ යුරෝපයේ ඇති වූ ප‍්‍රතිසංශෝධන ව්‍යාපාරය වාරණය පිළිබඳ සම්මත අදහස් වෙනස් කිරීමට බලපෑවේය. වාරණය ඉවත් කළ ප‍්‍රථම රට ලෙසට 1766 දී ස්විඩනය තැබූ පියවර අනතුරුව ඩෙන්මාර්කය, නෝරවේ ආදි රටවල් හරහා බොහෝ යුරෝපීය රටවල් කරා ව්‍යාපත විය. පසුව මේ බොහෝ රටවල් එවැනි ගැටුළු ඇති වූ විට විසඳා ගනු ලැබුවේ උසාවිය තුළිනි. එනම් කිසියම් කෘතියක් හානිකර බවට කෙනෙකු විසින් පැමිණිලි කර නඩු විභාගයකින් තහවුරු කළ යුතු විය. අදහස ජනතාවට දැමීමට පෙර වාරණය නොකෙරේ.එනම් කියන්නට පෙර කිවයුතු හෝ නොකිවයුතු දේ තීරණය නොකෙරේ.

කවර සම්මතයක් නිසාවත් ශිෂ්ටාචාරය මෙතෙක් එක තැනක නැවතී නොමැත. වාරණ සීමාවන් ඉක්මවා ගිය කලා කෘති දිගටම බිහි වූ අතර ඉන් කිහිපයක් පමණක් මෙහිලා සඳහන් කිරීම ඉතිහාසයේ සිදුවූයේ කුමක්ද යන්න තහවුරු කිරීමට ප‍්‍රමාණවත්ය.

නාට්‍ය කලාවේ ආරභම්ක ග‍්‍රීක යුගයේදීම ඇරිස්ටොපානිස්ගේ නාට්‍ය ඇතන්ස් ජීවිතය උඩුයටිකුරු කල අතර ඒවා නිරන්තර අත්හිටවීම් සහ තහනම් කිරීම් වලට ලක්විය, ලැසිස්ට්‍රාටා (Lysistrata) නාට්‍යය නිසා ඔහුට දඬුවම් පවා විඳීමට සිදුවිය. එදා මෙදා තුර ලෝ ප‍්‍ර‍්‍රකටවූ නාට්‍ය රැසක් ඒවා මුලින්ම කරලිගත වනවිට වාරණයන්ට ලක්ව ඇත. ශේක්ස්පියර්ගේ නාට්‍ය ප‍්‍රභූ වරුන්ට හා ආගමට අපහාස වන හේතු මත වාරණයට ලක් වූ අතර සමහර අවස්තාවල රැජින විසින්ම පිටපත ගෙන්වා කොටස් කපා ඇත. හිට්ලර් විසින් බ්‍රෙශ්ට්ගේ නාට්‍ය සියල්ල තහනම් කොට මරණ ලයිස්තුවට ද නම ඇතුලත් කරන ලදි. වෝල්ට් වයිට්මන්ගේ ලීව්ස් ඔෆ් ග්රාස්( Leaves of Grass) නම් පෙරලිකාර කවි පෙළ 1881 දී බොස්ටන් නගරයෙන් ඉවත් කරීම විශේෂ සිදුවීමකි. පසුව මෙම විශිෂ්ට කවි එකතුවම වයිට්මන් ‘නිදහස් පද්‍යයේ පියා’ ලෙස හැඳින්වීමට තරම් හේතුවිය. තහනමට හේතුව අතිශය ලිංගික නිරාවරණිය පද හා අන්තර්ගතයකින් යුක්ත වීමයි. ජැක් ලන්ඩන්ගේ සුප‍්‍රකට ද කෝල් ඔෆ් ද වයිල්ඩ්(The Call of the Wild ) කෘතිය 1920-1930 කාලය තුළ යුරෝපීය රටවල් රැසක තහනම් කෙරුණු අතර චෙකොස්ලොවැකියාව ඔහුගේ කෘති තහනම් කිරීමට හේතු ලෙස දැක්වූයේ ‘අතිශය රැඩිකල් ‘වීමයි. අද චිත‍්‍රපටවල ඉතා සුලභව භාවිතා කරනු ලබන ෆක් ( Fuck) යන වචනය මුලින්ම භාවිතා වූ චිත‍්‍රපටිය වන 1967 දී තිරගත වූ යුලිසීස් ( Ulysses) එම හේතුව නිසා බොහෝ රටවල තහනම් කෙරිණ. චිත්‍රපටියට පාදක කරගත් ජෙම්ස් ජොයිස්ගේ එනමින් යුත් අද්විතීය නවකතාව ද විවිධ වාරණයන්ට හා ඉවත් කිරීම්වලට ලක් විය. ලොව වඩාත් ප‍්‍රසිද්ධියටපත් සාහිත්‍ය නඩුව වූයේ 1960 දී එංගලන්තයේ දී ප‍්‍රකාශයට පත් ඞී.එච්. ලෝරන්ස්ගේ ලේඩි චැටර්ලිස් ලවර් (Lady Chatterley's Lover) නවකතාවට එරෙහි නඩුවයි. කෘතිය නඩුවෙන් දිනන ලදි. මෙම කෘතිය ඊටත් පෙර 1930 දී ඇමරිකාවේදි විවාදයට අරගෙන තිබුණු අතර එවකට ඇමරිකානු සෙනෙට් රීඞ් ස්මුට් විසින් ලෝරන්ස්ව හැඳින්වූයේ ‘මුලූ අපායම කලූ කල හැකි අඳුරු ආත්මයක් හා ලෙඩ වූ මනසක් ඇති පිස්සෙක් මේක ලියලා තියෙන්නේ’ යනුවෙනි. මේ අතර චිත‍්‍ර කලාවේ විශිෂ්ට සන්ධිස්ථානයක් ඇති කළ 1863 දී ප‍්‍රදර්ශණය කල එඩුවාඞ් මොනේගේ ඔලිම්පියා චිත‍්‍රය ප‍්‍රථම වරට සමකාලීන ගණිකාවක් සම්පූර්ණයෙන් නිරුවත්කර උත්කර්ශයට පත් කර අදින ලද චිත‍්‍රය වූ අතර ඒ මොහොතේ දැඩි විරෝධයක් ඊට එල්ල විය. එවකට කාමාවචර කලාව හෙවත් Pornography ප‍්‍රසාංගික කරලියට පැමිණෙමින් තිබු වකවානුව වූ අතර මොනේගේ මේ චිත‍්‍රය කාමාවචාර හා නිරුවත් කලාව (Nude Art ) අතර වෙනස පිළීබඳ ඉතාමත් දාර්ශනික විවාදයක් ඇති කරන ලදී. එම දාර්ශණික විවාදය සභ්‍ය අසභ්‍ය භේදය ගැන අතිශය වැදගත් න්‍යායික ගැටලු රැසක් විසඳා ගැනීමට ප්‍රයෝජනවත් විය. අනතුරුව කැරන් ෆින්ලේ(Karen Finley) ඇනී ස්ප්රින්ක්ලේ (Annie Sprinkle) වැනි පුරෝගාමීන් කාමාවචර කලාව යොදාගෙන ඉතා විශිෂ්ට ප‍්‍රසාංගික කලා සම්ප‍්‍රදායන්ට පදනම දමන ලදි. අද මේ කෘති අපි සැලකිල්ලට ගන්නේ ඒවා හුදෙක් එවකට තිබූ සීමාවන් ඉක්මවා යාම නිසාම නොව කෘතියක් ලෙසටද සාර්තක නිසා බව සිහිකොට ගතයුතුය. එසේම ඇඳුන් සියල්ල ගලවාදමා වේදිකාවට නැග රජයට බැණ හැලුණු පමණින් කලා කෘතියක් සාර්තක නොවන අතර එවැනි වැඩද ඉතිහාසය පුරා සුලබව සිදුවී ඇත

ඉහතින් සඳහන් කළ කිහිපයට අමතරව තවත් සියදහසක් විවිධ ක්‍ෂෙත‍්‍රයන්හි බිහි වූ කලා කෘති කාලීන වශයෙන් තිබූ සීමාවන් ඉක්මවා යාම නිසාත් පවතින අධිපති මතවාදයන්ට, සදාචාරයන්ට සහ දේශපාලනයට තර්ජනය වීම නිසාත් ඉතිහාසය පුරා විවිධ නින්දා අපහාසයන්ට හා වාරණයන්ට ලක් විය. එහෙත් ඒ සියල්ල දෙස ඉතිහාසයේ වූයේ කුමක්දැයි යන දෑසින් බලන විට අද අප හට පසක් වන ඉතා වැදගත් යථාර්ථයක් ඇත. එනම් ඒ සියලූම කෘති මෙන් මේ වනවිට අපගේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ඒවා වීමයි. ඞී.එච්. ලෝරන්සට ලෙඩ වූ පිස්සෙක් යැයි කී දේශපාලකයාගේ සිට එදා ඒ කෘතිවලින් කළ දේ වැරදි බවත් පවතින අධිපති මතවාදය නිවැරදි බවටත් තර්ක කළ පිරිස ගැන කීමට ඇත්තේ ඔවුන්ට කලාව එහි භාවිතය හා ශිෂ්ටාචාරය තුළ එහි භූමිකාව ගලා යන ආකාරය පිළිබඳ කිසිඳු අදහසක් නොතබුණ බවයි. ඔවුහු දනුවත්ව හෝ නොදනුවත්ව ඉතිහාසයේ අගතිය වෙනුවෙන් පෙනී සිටියෝ වෙති.

මෙසේ වාරණය වුවත් නැතත් සැමවිටම මෙන් නව සෞන්දර්ය ක‍්‍රමවේද සහ විශයට නව අර්ථකතන ගෙනාවේ පවත්නා සම්මත සදාචාරය හා දේශපාලන සීමාවන් ඉක්මවූ කලා කෘති බව ඉතිහාසය පුරා ඉතා පැහැදිලිව පෙන්වන සත්‍යයකි. එම කෘති අපගේ සංවේදීභාවය බුද්ධිය අප කිසි දිනක නොදුටු ඉසවු කරා ගෙන යන ලදි, අප තුල සැඟව තිබූ සුන්දරත්වයේත් අසුන්දරත්වයේත් අන්තයන් ස්පර්ශ කරන ලදි, අප තුල ඇති අසභ්‍යත්වය සභ්‍ය කරන ලදී, කලාවට නව ලලසාවන් රැගෙනවිත් ජීවත්වීමේ ආශ්වාදය අපි තුල අතිකරන ලදි.

සම්මත විශ්වාස සහ සම්ප‍්‍රදායන් විසින් ඒවා විසින්ම වන්දනා කරන පරමාදර්ශී ලෝකය ගොඩනගා නැති කොට ඊට එරෙහි යතාර්තයන් සහ ආකෘතීන් ගොඩ නැගීම ඉතිහාසය පුරා පැනනැගි අභිනව කලා ව්‍යාපාර වල ප‍්‍රධාන ලක්ෂණයකි. සරලව, වඩා රැඩිකල් හෝ වාරණයට හසුවිය හැකි කලා කෘතියක් යනු මෙම මාවතේම එම මොහොතේ කිසිසේත් අපේක්ෂා නොකල අන්තයන් කරා වඩා වේගයෙන් ගිය අවස්ථාවයි. ( රැඩිකල් යනු අවශ්‍යයෙන්ම සාර්ථකයි යන්න අදහස් නොකෙරේ) මෙහිදී පැරණි-සම්මත ලෝකයෙන් හා අධිපති මතවාදය තුල වඩාම යැපෙම්න් සිටියෙකු මෙම කම්පිත බිඳීම දැක කඩා වැටීමකට ලක්විය හැකි අතර කෘතියේ රැඩිකල් ප‍්‍රවේශයේ උත්සහය වන්නේත් එම කඩා වැටීම ඇති කිරීම වේ. මෙය කඩාවැටුන ම්නිසාගේ පැත්තෙන් බලන කල වරදක් ලෙසට පෙනීයා හැකි අතර ඒත් ප්‍රශ්ණය බලන්නේ කාගේ දෘෂ්ටිකෝනයෙන් කාට සේවය කිරීමටද යන්න මත වාරණයේ විවාධය ඇරඹේ. රජය යනු හැම විටම මේ අධිපති මතවාදය රැකගත් කඩාවැටීමට භිය ම්නිසා වන අතර වාරණ ආයතනය යනු ඔහු තමාව බේරාගනු වස් අටවන ලද නිල වහන්තරාවයි.

කෙසේ හෝ කෘතියක ඇති කවරම සීමාව ඉක්මවූ අමුද්‍රව්‍යයක් වේවා ඉන් හානියක් සිදුවිය හැක්කේ එය නිවැරදිව ග‍්‍රහණය කර ගැනීමට හා දරා ගැනීමට නොහැකි කෙනා මත බව පැහැදිලි වී ඇති සත්‍යයකි. වයස සීමාව නිසා හෝ වෙනත් සංස්කෘතික සාමාජීය හෝ අධ්‍යාපනික සීමාවන් ආදි සංකීර්ණ සීමාවන් රැසක් කෘතියක් හා සන්නිවේදනය සම්බන්ධයෙන් බලපෑ හැකිය. උදාහරණයකට, වරක් කිසිදිනක තොවිලයක් දැක නොතිබුන නාගරික කාන්තාවක් ගමක තොවිලයක් නරඔන්නට ගොස් එහිදී ආතුරයාට පොල් මලෙන් පහරදෙනවා දැක කම්පනයවී කලන්තෙ දමන ලදි. පසුව ඇය සුව වුවද අනවශ්‍ය අභ්‍යන්තර බියක් ඇගේ ජීවිතය තුල සදහටම ඉතුරු විය. කලයුත්තේ ඇගේ පැත්තෙන් පමණක් ප‍්‍රශ්ණය බලා තොවිල් තහනම් කිරීමද? නැතහොත් කිසිදිනක තොවිලයක් කර නැති උන්( වාරණ මණ්ඩලය) විසින් යකදුරන්ට තොවිල් කරන හැටි කියාදීමද? කවර හෝ තොවිල් වාරණයකින් හෝ සංස්කරණයකින් ජනතාවට සේවය කරනවා යැයි කියනවිට ඉන් අදහස් කරන්නේ තොවිල් රසවිඳ ගත නොහැකි පිරිසට සේවය කිරීමයි, කලාවෙදී මේ වූකලි වෙනකෙක් නොව රටේ සිටින අවරසිකයායි. විවිධ කලාකෘති නිතරම රසවිඳීමට පුරුදුවී සිටියකු හා පුළුල් රසිකත්වයක් ඇත්තෙකුට කවරම කලාවකින්වත් හානි කල නොහැකි අතර සාමාන්‍යයෙන් කෘතියක වචන ජවනිකා හෝ අන්තර්ගතයෙන් හානි වනවා යන චෝදනාව කරන්නේ රසවිඳීමේ විවිධ සීමාවන්ට හිරවූවන් විසින්ය.

මෙසේ කලා කෘතියක් කෙනෙකුට ග‍්‍රහණය කර ගැනීමට හෝ දරා ගැනීමට නොහැකිවීම නැතහොත් එමගින් කිසියම් විශ්වාස පද්ධතියක් (උදා සිංහල සභ්‍යත්වය?) අපහසුතාවයට පත්වීම කලාවේ විවිධ අවස්ථාවල එය තම නොනවතින පියවර තබනවිට ඇතිවන වැලැක්විය නොහැකි නෛසර්ගික ලක්ෂණයක් වන අතර කල යුත්තේ ඊට කලබලවී වාරණය කරන්නට යාම නොව කලාවේ ඇති එම ගතික ලක්ෂණය තේරුම් ගන්නට තරම් පරිණත වීමයි. ඒ සමඟ ගණුදෙනු කලයුතු නව දේශපාලනය හා සෞන්ද්ර්ය සොයා ගැනීමයි. එකඟ නැත්නම් විචාරය හරහා කලාවෙ කතිකාව පුලුල් කිරීමයි. එසේ විනා කිසිඳු සංස්කරණ වාරණ ක‍්‍රමවේදයකින් මේ ප‍්‍රශ්නය විසඳිය නොහැකිය. එබැවින් කළ යුත්තේ කලා කෘතියෙන් හානි සිදු වෙනවා යැයි සිතන පිරිසට කලාව රසවිඳීමට හේතුවන අධ්‍යාපනික, සාමාජික, දේශපාලන හා සන්ධර්භීය සීමාවන් හඳුනාගෙන හැකි තරම් එම සීමාවන් ජය ගැනීමට අවශ්‍ය පුළුල් සංස්කෘතික හා බුද්ධිමය පරිසරයක් ඇති කිරීමයි. ඔවුන් විශාල වශයෙන් දැනුම් හා තොරතුරු ගැවසෙන පුළුල් සංස්කෘතික පරිසරයක් තුළට ගෙන ඒමයි. මිනිසුන්ට පුළුල් මතයක් හා බුද්ධියක් ඇති වන්නේ විවිධ ශෛලියේ කලා කෘති විවිධ දෘෂ්ටිවාද අදහස් විශාල සංඛ්‍යාවක් ගැවසෙන ඒ ගැන කථිකාවක් ඇති පරිසරයක ජීවත්වන විට බැවින් තොරතුරු වාරණය හැමවිටම අවසන් වන්නේ මිනිසුන් පටු හා අඩු අත්දැකීමක් ඇති අය බවට පත් කිරීමෙන්ය. රජයකට හැමවිටම වාරණය අවශ්‍යවන්නේ මේ කී පුළුල් බුද්ධිමත් සංස්කෘතික පරිසරයක් ගොඩ නැඟීමට අවශ්‍ය දැනුම නිර්මාණ ශක්තිය හා නිවරදි ප‍්‍රායෝගික සැලසුමක් නැති වූ විටය. ඉහත මුලින් සඳහන් කළ රටවල් වාරණය ඉවත් කළේ එවැනි පුළුල් දේශපාලන සැලසුමක් තුළින් යමිනි.

දියුණු සමාජයකට යන්නේනම් අපට අවශ්‍ය වන්නේ රැඟුම් පාලනය කරීමට මණ්ඩලයක් නොව ප‍්‍රසාංගික කලා කෘතියක් වෙලඳපොලට ගෙනයෑමේදී සාධාරණ ලෙස සංස්කෘතික පරිභෝජනයක් ලබාදෙනු වස් කෘතියත් පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කිරීමට හා ඊට අදාල සදාචාරය හා සාධාරණත්වය පවත්වා ගැනීමට මැදිහත්වන ආයතන වියූහයකි. ඒ අනූව කල යුත්තේ කලා කෘති පාරිභෝගික අර්ථයෙන් වර්ගීකරණයකට ලක් කොට එහි අඩංගු දෑ මොනවාදැයි ආදි පැහැදිලි විස්තරයක් එය වෙළඳ පොලට යොමු කිරීමේදි පාරිභෝගිකයාට ලැබීමට සැලැස්වීමයි. කෘතියක සාර්ථක අසාර්ථක බාවය සහ එය රසවිඳීමේ ඇති සංකීර්ණතා ආදිය විමසීම විචාරකයාගේ කටයුත්ත වන අතර කෘතියක තිබිය යුත්තේ මොනවාද නොතිබිය යුත්තේ මොනවාද ඒවා කෙසේ හසුරවන්නේද කවර අර්තයක් මතුකරන්නේද ආදිය නිර්මාණ කරුවාගේ කටයුත්ත විනා රජයේ කටයුත්ත නොවේ. වරක් ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පි කුර්බේ කී ලෙස ‘කලාව පිලිබඳ සාමාර්තයක් රජයකට නොමැත’. කිසියම් කලා කෘතියකින් කිසියම් පුද්ගලයකුට හෝ ජනකොටසකට කිසියම් හානියක් සිදුවී ඇත්නම් එය එසේ වන්නේ කෙසේද යන්න නඩු විභාගයකින් තහවුරු කල යුතුය.

එදාමෙදාතුර අපේ රටේ කලාවට මේ රටේ ‘සංස්කෘතියට’ හා පුරුෂාර්ථ වලට හානි වූයේ කලා කෘතිවල තිබු වාරණය කළ යුත යැයි ඔය කියන වචන හෝ ජවනිකා වලින්ද? නැත. දූෂිත තක්කඩි රජයන් විසින් තම දර දිය ඇදීමට පත්කරන ලද කිසිදු සුදුසුකමක් නැති අමනෝඥ්ඥ නිළධාරීන්, පරිපාලකයින් කරන ලද අධ්‍යාපනික හා සංස්කෘතික ඛාදනය නිසාය. හොඳ රඟහලක් හැදීමට, හරවත් පොත් දහසක් මුද්‍රණය කිරීමට ඇති වටිනා මුදල් තම අධිසුඛවිහරණය වෙනුවෙන් ද අර්ථශූන්‍ය ආමිස පූජා වෙනුවෙන් ද නිමක් නැති ඡන්ද හා දූෂණ අක‍්‍රමිකතා වෙනුවෙන් ද අවසානයේ නිකමුන් රැසක් ඇමතියන් නමින් නඩත්තු කිරීමටත් නාස්ති කිරීම නිසාය. එය සිදුවූයේ එසේ නොව කලාවේ තිබු ලිඟු සහ රමණය දැකීමෙන් යැයි කිසිවකු කියන්නේනම් කරුණාකර එසේ වූ හැටි තාර්කිකව පෙන්වා දෙන්න. තවමත් මීට අවශ්‍ය බැරෑම් දේශපාලන පිලිතුර සොයාගත නොහැකිව කරන දහම් පාසල් සරඹ සහ ලාමක ගැමි සෙල්ලම් වලට මුක්කු ගැසීමට කරන මේ වාරණයෙන් කලාවට සේවය කල හැකි බවට පුලුවන්නම් ශිෂ්ඨාචාරයේ කැමති තැනකින් උදාහරණ ගෙන පෙන්වන්න. කිසිම ලෙසකින් පාලනය කල නොහැකි දැන් එලිපත්තටම පැමිණ ඇති දැවැන්ත ගෝලීය තොරතුරු සුනාමියට මුහුණදීමට මීට වඩා බැරෑම් ශක්තිමත් දේශපාලන පිලිතුරක් සොයාගෙන පරිණාමය නොවූනහොත් එය අප මැඩියන් කැරපොත්තන් පණුවන්සේ දිනක මුලු පෘතුවි තලයෙන්ම අතුගා දමනු නියතය.

අද දවසේ ජනතාවට ආදරය කරනවා නමින් මේ කරනා කලා වාරණය හා මහා සංස්කෘතික කප්පාදුවට දායකවීමට ඔබට අසීමිත නිදහසක් ලැබී ඇත - ඒ නිදහස අපට අපේ අදහස් ප‍්‍රකාශ කරන්න ලබාදී නැත. වාරණ නිළධාරියෙකු ලෙසට, ගුරුවරයෙකු ලෙසට, සංස්කෘතික නිළධාරියෙකු ලෙසට, විචාරකයෙකු හෝ කලා විනිසුරුවකු ලෙසට, අවසාන වශයෙන් නාට්‍යකරුවකු ලෙසට වුවද එය ඔබට ගජරාමෙට මේ මොහොතේ කළ හැකිය. සඟවන්නට හැදුවද ඔබට බොහෝ දේවල් ඒ වෙනුවෙන් ඝෘජුව හෝ වක‍්‍රව ලැබෙනු ඇත. ඒ ලබාගන්නා බොහෝ දේවල් වලින් ගෙන ඔබ හදන දරුවන්ට කියවීමට එදා ඞී.එච්. ලෝරන්ස්ට පිස්සා කියුවන්ගේ ගොඩටම ඔබෙ නම දුශ්ඨයා ලෙසින් ඇතුලත් කර දිනෙක ඉතිහාසය නැවත ලියවෙන බව දැනට මතක තියාගන්න.

  • ධනංජය කරුණාරත්න

(මෙම ලිපිය මුල්වරට රාවය පුවත්පතේ නොවැ 9, 2009 පලවිය.)